'ජලාශවල වතුර හිඟයි': රජයෙන් ජනතාවට ඉල්ලීමක්

අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා

ශ්‍රී ලංකාව මේ දිනවල මුහුණදෙන නියඟය මාර්තු මාසය තෙක් වර්ධනය වීමට ඉඩ ඇති බැවින් ජලය සහ විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරන මෙන් රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉදිරි මාස තුන ඇතුලත වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය නොහැකි බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආපදා කලමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාරිමාර්ගවල ජල ධාරිතාව 27% ක් දක්වා පහත වැටී ඇති බවත් ඔහු පැවසීය.

"මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 220 ක ජල ධාරිතාව 30% ක් බවයි වාර්තා වෙන්නේ. කෘෂිකාර්මික පැත්තෙන් වගාකරලා තියෙන්නේ මේ කන්නේ 1/3 ක් පමණයි," ඔහු පැවසීය.

2016 වසරේ නිසි ලෙස වර්ෂාව නොලැබීම මේ තත්වයට හේතුවී ඇති බව පැවසූ අමාත්‍යවරයා, මාර්තු මස අග පමණ වන විට නැවත වර්ෂාව බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.

එබැවින් ජලය සහ විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි.

බිමට ජලය ආරක්ෂා කිරීම සඳහා ඇතැම් ප්‍රදේශවලට කෘෂිකර්මාන්තය සඳහා ජලය ලබාදීම සිමා කර ඇති බව මෙම අවස්ථාවට එක්වූ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පැවසීය.

සබැඳි විෂයයන්