රිදියගම ඉරණම
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රිදියගම ඉරණම

මේ වනවිට පවතින දැඩි වියළි කාලගුණික තත්වය හේතුවෙන් අම්බලන්තොට රිදියගම ව්‍යාපාරයේ කුඹුරු අක්කර 8000ක් පමණ විනාශවීමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ ගොවීහු පෙන්වාදෙති .

අම්බලන්තොට රිදියගම ව්‍යාපාරයට අයත් අක්කර අටදහසක පමණ වූ සියලුම කුඹුරු සඳහා ජලය ලබාදෙනු ලබන්නේ රිදියගම ජලාශයෙනි.

නමුත් මේ වනවිට පවතින දැඩි වියළි කාලගුණික තත්වය යටතේ සාමාන්‍යයෙන් අක්කර අඩි 24000 ක් පමණවූ ජලධාරිතාවකින් යුතු රිදියගම ජලාශයේ ජල පරිමාව අක්කර අඩි 12400 ට වඩා අඩු ප්‍රමාණයකට අඩු වී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි .

කෙසේ නමුත් රිදියගම ව්‍යාපාරය යටතේ අක්කර 8400 ක වී වගාකරන ගොවිපවුල් 3200 ක පමණ සංඛ්‍යාවක් නිසි කලට තම කුඹුරු සඳහා අවශ්‍ය ජලය නොලැබීම හේතුවෙන් ඉතා අසරණ තත්වයට පත්ව ඇති බව රන්ගොඩගේ කුලරත්න ගොවි මහතා පැවසීය.

''මට පොහොර සහනාධාරයවත් නැතිව තමයි මේ කුඹුරු කළේ. දැන් වතුර නැතිව කුඹුරු ඔක්කොම පැළිලා. අපිට මෙහෙම ගියොත් වස බොන්න වෙනව" යනුවෙන් ඔහු ප්‍රකාශකළේය.

"මාස එකාහමාරක් පමණ වන අපේ ගොයම් දැන් වතුර නැතිව මැරීගෙන යනවා අපිට දැන් කරන්න දෙයක් නැති නිසා මෝටර්වලින් වතුර ගහලා තමයි කුඹුරුවලට වතුර ගන්නේ. ඒ දේ කරන්න වත් ඇලේ වතුර නැහැ" යනුවෙන් පියතිලක අමරවික්‍රම නම් වූ තවත් ගොවි මහතෙක් පැවසීය.

වරායට ජලය ලබාදීම

අම්බලන්තොට කරිවිලේ යාය ප්‍රදේශයේ වී ගොවිතැන් කරනු ලබන ගොවියෙකු වන එච් .එම් .සෝමපාල පවසන්නේ වරායට ජලය ලබාදීම හේතුවෙන් මෙවැනි තත්වයක් ඇතිවූ බවය.

''මිට ඉස්ස්සරත් මේ වගේ පෑවුම් ගියා මේ වගේ දෙයක් උනේ නෑ. වැවේ වතුර නැති උනාම මැදින් හරි කපලා අපිට වතුර දීලා තියෙනවා. එහෙම කරලා රටට වී සපයපු ගොවින් දැන් බත සපයන්න අමාරු දෙයක් වෙලා තියෙනවා. අපිට මේ දේ සිද්ධවුනේ වරායට වතුර දෙන්න ටැංකි ගහපු නිසා '' යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

පවතින ජල හිඟය නිසා මේ වනවිට කුඹුරු සඳහා අවශ්‍ය ජලය සැපයීම මුර ක්‍රමය යටතේ සිදුකරන බවත් ගොවි මහතුන් දැනුම් දී ඇති වේලාවන් තුල දී තමන්ගේ කුඹුරු සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී හම්බන්තොට වාරිමාර්ග ඉංජිනේරු බුද්දික විජේසේකර පැවසීය.

'පරිහරණය පිරිමැස්මෙන්'

කෙසේ නමුත් මේ තත්වය පවත්වාගෙන යාම සඳහා උඩවලව ජලාශයෙන් දිනකට තත්පරයට ගණඅඩි 70 වක පමණ ජල ප්‍රමාණයක් අවශ්‍ය බව පවසන ඔහු මෙම මහ කන්නය ආරම්භ වීමට පෙර රිදියගම ජලාශයේ රැඳී තිබුණු ජල ප්‍රමාණය වන්නේ අක්කර අඩි 16000 ක ප්‍රමාණයක් පමණක් බවට ගොවිමහතුන් දැනුවත් කළ බව ද ඉංජිනේරු බුද්දික විජේසේකර ප්‍රකාශ කළේය.

මේ අතර හම්බන්තොට කිරිඳි ඔය ව්‍යාපාරය යටතේ මෙවර මහ කන්නයේ වගා කර ඇති වගා බිම් සඳහා මුර ක්‍රමයට ජලය ලබා දිම සිදු කරන බව පවසන තිස්සමහාරාම වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ දැනට ලුණුගම්වෙහෙර ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 42000 ක් පමණ මට්ටමක පවතින හෙයින් අර පිරිමැස්මෙන් යුතුව ජලය පරිහරණය කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.