නියඟය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නියඟයෙන් බැට කන පුත්තලමේ ගොවීන්

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් ගොවි ජනපද රැසක ජනතාව දැඩි නියඟයකට මුහුණ දී සිටිති.

සිය වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය නොමැති වීමෙන් තමන් දැඩි අසීරුතාවකට මුහුණ දී සිටින බව නීලබැම්ම ගොවි ව්‍යාපාරය සහ ඒ අවට ගොවි ජනපදවල වෙසෙන ජනතාව පවසති.

දොඩම් වගාවට අවශ්‍ය ජලය නොමැතිකම හේතුවෙන් තමන්ට රුපියල් ලක්ෂ පනහක පමණ පාඩුවක් සිදු වූ බව එක් ගොවියෙක් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

වසර පහළොවකට පමණ පසු පළමු වතාවට මෙවැනි නියං තත්වයකට මුහුණ දීමට සිදු වී ඇති බව තවත් ගොවියෙක් සඳහන් කළේය.

පුත්තලම දිස්ත්‍රික්කයේ කුඹුරු ගොවිතැන මෙන්ම හේන් ගොවිතැන ද නියඟය හේතුවෙන් සැලකිය යුතු විනාශයකට ලක් වී ඇති බව ගොවීහු පෙන්වා දෙති.

නියං තත්වය කුඹුරු ගොවිතැනට බලපා නොමැති බව බලධාරීන් ප්‍රකාශ කළත් හලාවත පොන්නන්කන්නිය ප්‍රදේශයේ ගොවියෙකු වන අනුර චන්ද්‍රසේකර පවසන්නේ තම කුඹුර ඇතුළු අක්කර සියයක පමණ වෙල් යායක් ජලය නොමැතිකම හේතුවෙන් විනාශයට පත් වී ඇති බවය.

"සමහරක් තැන්වල වතුර තියෙනවා. නමුත් වෙලා තියෙන්නේ බලධාරීන් විසින් ක්‍රමවත් ජල සම්පාදන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම නිසා මේ වගේ කුඹුරු යායවල් බොල් තත්වයට පත් වෙලා ගොවියන්ට ලාභයක් ලබා ගත නොහැකි තත්වයකට පත් වී තිබෙනවා," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

හෙක්ටයාර පන්දහසක්

මේ අතර නියං අවදානම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වගා බිම්වලින් තුනෙන් දෙකක් මෙවර අස්වද්දා නොමැති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද පැවසීය.

"හෙක්ටයාර පන්දහසක් පමණ තමයි වගා කරලා තිබෙන්නේ. තාම වගා විනාශයක් වෙලා නැහැ. කරපු වගාව ඒ විදිහටම තිබෙනවා. අස්වැන්න දක්වා ඒ වගාව සාර්ථක කර ගන්න තමයි උත්සාහ කරන්නේ." ඔහු කියා සිටියේය.

කරුවලගස්වැව, ආනමඩුව, වැනි කොට්ඨාශවල හේන් ගොවිතැනට නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි විෂයයන්