රතන හිමිගෙන් රතු එළියක් ?

පූජ්‍ය අතුරලියේ රතන හිමි

ආණ්ඩුව හරි මාර්ගයට යොමු කිරීම සඳහා එයට බලපෑම් කළ හැකි පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟීමට තමන් පියවර ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

ආණ්ඩුවේ වසර දෙකක ප්‍රගතිය ගැන සෑහීමකට පත්විය නොහැකි බව අද (ජන.16) පැවති මාධ්‍ය හමුවකදී පැවසූ උන්වහන්සේ ආණ්ඩුවේ ඇතැම් තීරණ දැඩි විවේචනයට ලක් කළහ.

තමන් මේවන විට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කරන බව පෙන්වාදුන් රතන හිමියෝ විපක්ෂයට එක්වීමේ කිසිදු අදහසක් නොමැති බව අවධාරණය කළහ.

ජාතික හෙළ උරුමයෙන් ඉවත්වී දැයි විමසූ විට ඊට නිසි පිළිතුරක් ලබා නොදුන් උන්වහන්සේ තමන්ට අවශ්‍ය සියලු පක්ෂ සමග එක්ව වැඩකිරීමට බව ද පෙන්වා දුනි.

එසේම ආණ්ඩුව පෙරළන්නට තමන් තුළ කිසිදු අරමුණක් හෝ උත්සාහයක් නොමැති බව අවධාරණය කළ උන්වහන්සේ, ආණ්ඩුවේ වැරදි පෙන්වාදී එය නිවැරදි මගට ගැනීම තම අරමුණ බව කියා සිටියහ.

මේවන විට සකස්කරමින් පවතින ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තමන්ට ගැටලු ඇති බව පැවසූ රතන හිමියෝ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බව ජනාධිපතිවරයාගේ මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් නොවන බව ද පැවසූහ.

බීබීසී යෙන්