අල්ලස් කොමිසමට අපහාස කළේ නෑ - නාමල්

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අධිකරණය ඉදිරියේ (සංරක්ෂිත ඡායාරූපයක්)

අල්ලස් කොමිසමට අපහාස කිරීමේ චෝදනාවලට තමන් නිවැරදිකරු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.

පරීක්ෂණයකට අදාළ ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මගින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කොමිසමට අපහාස කර ඇති බව පවසමින් අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා කියා සිටියේ අල්ලස් කොමිසම වෙත ගොස් ප්‍රකාශයක් ලබාදීමට සිය සේවාදායකයා සූදානම් බවයි.

කෙසේ නමුත් එම ප්‍රකාශය දීමට පෙර සිය සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල කොමිසම විසින් කියවා දිය යුතු බවත් නීතිවේදියා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එහෙත් රජයේ නීතිවේදියා එම ඉල්ලීමට විරෝධය පළකරමින් කියා සිටියේ, නියමිත පරිදි වගඋත්තරකරුට එරෙහිව තිබෙන චෝදනා කියවා දීම අවශ්‍ය අතර, විත්තියේ ඉල්ලීම පිළිබඳව අල්ලස් කොමිසමෙන් උපදෙස් ලබාගෙන කරුණු ඉදිරිපත් කිරීම පිණිස කාලය අවශ්‍ය බවයි.

ඒ අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා විවෘත අධිකරණයේ කියවනු ලැබූ අතර, තමන් එම චෝදනාවලට නිවැරදිකරු බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසීය.

වැඩිදුර නඩු විභාගය ජනවාරි 31 වැනි දිනට කල් තැබිණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර