ලොතරැයි පත පැරණි මිලටම

Image caption ලොතරැයි වෙළෙන්දෝ දෙවැනි වතාවටත් ඊයේ (ජන. 16) වර්ජනයක් ආරම්භ කළහ

ලොතරැයි පතක මිල රුපියල් 30 දක්වා ඉහළ නැංවීම අත්හිටුවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝග කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

එහි පැරණි මිල වන රුපියල් 20ට ලොතරැයි පත් අලෙවි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා නියෝගකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔහු මේබව දැනුම් දුන්නේ අද (ජන. 17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය.

මුදල් ඇමති රවී කරුණානායක විසින් ලොතරැයි පතක මිල රුපියල් දහයකින් ඉහල දමනු ලැබීමෙන් අනතුරුව අලෙවිය පහත වැටුණු බව පවසමින් ලොතරැයි වෙළෙන්දෝ ඊට එරෙහිව විරෝධතා දියත් කළහ.

ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කර තිබුණේ වැඩිකළ මිලට අලෙවිකළ නොහැකිනම් වෙළඳාමෙන් ඉවත් විය හැකි අතර වෙනත් පිරිසකට එම කර්තව්‍යය භාරදිය හැකි බවය.

ලොතරැයි වෙළෙන්දෝ දෙවැනි වතාවටත් ඊයේ (ජන. 16) වර්ජනයක් ආරම්භ කළහ.