ඕමන්ත ඉඩම් ජනතාව අතට
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඕමන්තෙන් කොටසක් යළි පවරයි

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්ව තිබූ ඕමන්ත සීමා මුරපොල පිහිටි භූමියෙන් අක්කර 16ක් යුද හමුදාව විසින් අද (ජන. 17) වවුනියාව දිසාපතිවරයා වෙත භාර දෙනු ලැබුණි.

විසිපස් වසරක් තිස්සේ හමුදා භාරයේ තිබුණු අක්කර දහඅටකින් යුත් භූමියෙන් අක්කර 16ක් වවුනියාව දිසාපතිවරයා වෙත භාරදීම සිදුකරනු ලැබුණේ වන්නි ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් රුවන් කුලතුංග විසිනි.

ඉතිරි අක්කර දෙක තුළ තවදුරටත් හමුදා කඳවුර පවත්වාගෙන යනු ඇති බව වවුනියාව දිසාපති රෝහණ පුෂ්පකුමාර කියා සිටියේය.

හමුදාවෙන් නිදහස් කළ කොටසට නීත්‍යනුකූල අයිතිවාසිකම් ඇති පිරිස සොයා ඔවුන්ට එය භාරදීම සඳහා පියවර ගන්නා බව වවුනියාව දිසාපතිවරයා පැවසීය.

1992 වසරේ සැප්තැම්බර් මාසයේදී ඕමන්ත ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක් ඉදිකිරීම හේතුවෙන් මුල් පදිංචිකරුවන්ට එම පළාතෙන් ඉවත්ව යාමට සිදු වුණි.

2002 මාර්තු මස 22 වෙනිදා නෝර්වේ රජයේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා රජය හා එල්ටීටීඊ සංවිධානය අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමට අනුව ඕමන්ත පළාතේ සීමා මුරපොලක් බිහිවිය.

ඉන් අනතුරුව එම මුරපොලෙන් උතුරු පළාතට වූ භූමිය එල්ටීටීඊ පාලන ප්‍රදේශය වශයෙනුත්, දකුණු ප්‍රදේශය රජයේ පාලන කලාපය ලෙසත් නම් කෙරිණි.

යුද්ධයේ අවසන් කාලවකවානුව වනතෙක්ම ඕමන්ත සීමා මුරපොල ක්‍රියාත්මක වූ අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම මුරපොල හරහා ගමන් කොට තිබේ.

යුද්ධය නිමවී වසර හතරක් ඉකුත් වූ පසුව ඕමන්ත සීමා මුරපොල යුදහමුදාව විසින් ඉවත් කරගන්නා ලද නමුත් එම ඉඩම් යුද හමුදාව භාරයේ පැවතිණි.