‘රවිරාජ් පෙත්සමක්’ ප්‍රතික්ෂේප වෙයි

Image copyright AFP
Image caption ජුරි සභාවේ තීරණය අවලංගු කොට විත්තිකරුවන් වරදකරුවන් කරන ලෙසත් ඉල්ලා රවිරාජ් මන්ත්‍රීවරයාගේ බිරිඳ පෙත්සම ඉදිරිපත් කළාය

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කිරීමට එරෙහිව රවිරාජ් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඉදිරිපත් කරන ලද පෙත්සමක් අභියාචනාධිකරණය අද (ජන. 19) ප්‍රතික්ෂේප කළේය.

අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයින් කිසිවෙකු අධිකරණයේ පෙනී නොසිටි අතර, පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි නිදොස් කොට නිදහස් කරන ලද විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥයෝ ඉල්ලා සිටියහ.

ඒ අනුව පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය තීන්දු කළේය.

කෙසේ වෙතත් මෙම පෙත්සම යළි අධිකරණයේ කැඳවන මෙන් ඉල්ලා මෝසමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව රවිරාජ් පාර්ශ්වයේ නීතිඥයකු බීබීසී වෙත පැවසීය.

රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය ඉදිරියේ පැවති නඩු විභාගයකදී ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට විශේෂ ජුරි සභාවක් විසින් තීන්දු කරනු ලැබීය.

එම තීන්දුව නීතියට පටහැනි බවත් ජුරි සභාවේ තීරණය අවලංගු කොට විත්තිකරුවන් වරදකරුවන් කරන ලෙසත් ඉල්ලා රවිරාජ් මන්ත්‍රීවරයාගේ බිරිඳ පෙත්සම ඉදිරිපත් කළාය.

අදාළ විත්තිකරුවන් අතර නාවික හමුදා සාමාජිකයින් තුන් දෙනෙක් සහ කරුණා පාර්ශ්වයේ සාමාජිකයින් දෙදෙනෙක් ද වූහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර