අර්ජුන මහේන්ද්‍රන් පදවි දැරීම 'ජනපති අනුමත කරන්නේ නෑ'

අර්ජුන් මහේන්ද්‍රන්

රාජ්‍ය ආයතන කිහිපයක් විසින් පවත්වන ලද පරීක්ෂණවලින් බරපතල චෝදනා එල්ල වී තිබෙන මහ බැංකුවේ හිටපු අධිපතිවරයා තවදුරටත් රජයේ තනතුරු දැරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිසේත්ම අනුමත නොකරන බව ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයා පවසයි.

නීතිඥ ශිරාල් ලක්තිලක ඒ බව කියා සිටියේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අර්ජුන මහේන්ද්‍රන් මුදල් අමාත්‍යංශයේ උපදේශකවරයා වශයෙන් තවමත් මහ බැංකුවට උපදෙස් දෙන බවට දූෂණ විරෝධී පෙරමුණ එල්ල කරන චෝදනාව පිළිබඳව බීබීසී සංදේශය සමග දහස් දක්වමිනි.

බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කිරීම පිණිස විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කිරීම අගය කරන බව බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළ දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන්, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේද සහභාගිත්වයෙන් මුදල් අමාත්‍යංශයේ පැවැත්වෙන රැස්වීම්වලට මහ බැංකුවේ හිටපු අධිපතිවරයා සිරිතක් වශයෙන් සහභාගිවන බව ද සඳහන් කරයි.

එම රැස්වීමේදී සිරිතක් වශයෙන් අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මූල්‍ය මණ්ඩලය විසින් ගත යුතු තීන්දු සහ තීරණ සම්බන්ධයෙන් ආචාර්ය කුමාරස්වාමි වෙත උපදෙස් ලබා දී ඇති බවද දූෂණ විරෝධී පෙරමුණ පවසයි.

Image caption දූෂණ විරෝධී පෙරමුණ ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය

ඒ පිළිබඳව තමන්ට ද තොරතුරු ලැබී තිබෙන බව පවසන ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක, රාජ්‍ය නිලධාරියකුට කිසියම් චෝදනාවක් එල්ල වූ අවස්ථාවක ඒ සම්බන්ධ පරීක්ෂණ අවසන්වන තුරු සිය රාජකාරියෙන් තාවකාලිකව ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බව පෙන්වා දෙයි.

"මේ පූර්වාදර්ශය අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයටත් අදාළයි. මොකද ඔහු හිටපු රාජ්‍ය සේවකයෙක්," යයි ඔහු පැවසීය.

එසේනම් දූෂණ විරෝධී පෙරමුණ ඉල්ලා සිටින පරිදි මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මුදල් අමාත්‍යාංශයේ උපදේශක ලෙස මහා භාණ්ඩාගාරය සමග කටයුතු කිරීම නවතා දැමීමට කටයුතු කරන්නේ දැයි විමසූ අවස්ථාවේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා කියා සිටියේ, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ඒ බලය පවතින්නේ මුදල් අමාත්‍යවරයා සහ අගමැතිවරයා සතුව බවය.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් විමසීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇමතූ විට මේ අවස්ථාවේ කාර්ය බහුල බැවින් පසුව අමතන මෙන් අමාත්‍යවරයා සංදේශයෙන් ඉල්ලා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර