"විමල්ට ඇප දෙන්න තරම් හේතුවක් නැහැ"

"විමල්ට ඇප දෙන්න තරම් හේතුවක් නැහැ"

හිටපු ඇමති විමල් වීරවංශ ඇතුළු දෙදෙනෙකු ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ අද (ජන.24) දින අධිකරණ ශාලාවේදී ඝෝෂා කළ පුද්ගලයකු අත්අඩංගුවට පත්විය.

ඇප ඉල්ලීම් ඉවත ලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පෙන්වා දුන්නේ සැකකරුවන්ට ඇප ප්‍රදානය කිරීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණයවී නැති බවය.

රජයේ වාහන අවභාවිත කිරීමකට අදාළ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමති විමල් වීරවංශ රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

එම චෝදනාවම එල්ලවී තිබෙන ලසන්ත අලගියවන්න සහ ආශු මාරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද පරීක්ෂණ ක්‍රියාත්මක කරන ලෙස අධිකරණය පොලිසියට නියම කළේය.

'ප්‍රබල සාක්ෂි'

ඇප අයදුම් කරමින් නීතිඥයින් පෙන්වාදුන්නේ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාසය විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඇති බවය. එම කරුණ මෙන්ම විරවංශ මන්ත්‍රීවරයාගේ දියණිය මෙම වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම යනාදිය සුවිශේෂ කරුණු ලෙස සළකා ඇප නියම කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය, රජයේ වාහන සමීප ඥාතීන්ට හා පක්ෂ ක්‍රියාකාරීන්ට ලබාදීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පොලිසිය ප්‍රබල සාක්ෂි අනාවරණය කරගෙන ඇති බව පෙන්වා දුන්නාය.

විෂය භාර ඇමතිවරයාගේ අනු දැනුමකින් තොරව මෙවැනි ක්‍රියා සිදුවිය නොහැකි බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 07 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළාය.

මේ අතර නඩු විභාගය පැවති අවස්ථාවේදී, අධිකරණ ශාලාවේ අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ඝෝෂා කළේ ලසන්ත අලගියවන්න හා ආශු මාරසිංහ යන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමිනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර