පොස්ට්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනාධිපතිට 'පෝස්ට් කාඩ්'

පසුගිය පාලන සමයේ ජනමාධ්‍යවේදීන්ට මුහුණ පෑමට සිදුවූ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද (ජන.24) ජනාධිපතිවරයාට පෝස්ට් කාඩ්පත් යැවීමේ ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි.

ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, අතුරුදහන් කිරීම්, පහර දීම් මෙන්ම ජනමාධ්‍ය ආයතනවලට එල්ලවූ ප්‍රහාර, ගිනි තැබීම්, සහ බලපෑම් යනාදි අපරාධ පරික්ෂා කිරීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් මීට වසර දෙකකට පෙර කරන ලද ඉල්ලීම යළි සිහි කැඳවීම සඳහා පෝස්ට් කාඩ්පත් යැවීමේ ව්‍යාපාරය සංවිධානය කළ බව බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලසන්ත රුහුණගේ පැවසීය.

වත්මන් ආණ්ඩුව ද මාධ්‍යවේදීන් වෙත විවිධ බලපෑම් එල්ලකරන බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අදාළ කොමිසම මාර්ගයෙන් එම චෝදනා පිළිබඳවත් සොයා බලන ලෙස ඉල්ලීමක් කරන බවය.