"පිල්ලෙයාන්ට එරෙහිව අධි චෝදනා ගේනවා"

Image caption රජයේ නීතිවේදියා කියා සිටියේ පිල්ලෙයාන්ගේ නියෝගයකට අනුව පරරාජසිංහම් මන්ත්‍රීවරයා ඝාතනය කළ බවට පොලිස් පරීක්ෂණවලදී සාක්ෂි අනාවරණය වී තිබෙන බවය

දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට තීරණය කර ඇති බව නීතිපතිවරයා පවසයි.

ඔහු මේබව අද (ජන. 24) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නොකඩවා රදවා සිටින තමන්ව නිදහස් කරනමෙන් ඉල්ලා පිල්ලෙයාන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලූ අවස්ථාවේදී ය.

මෙහිදී රජයේ නීතිවේදියා කියා සිටියේ පිල්ලෙයාන්ගේ නියෝගයකට අනුව පරරාජසිංහම් මන්ත්‍රීවරයා ඝාතනය කළ බවට පොලිස් පරීක්ෂණවලදී සාක්ෂි අනාවරණය වී තිබෙන බවය.

වෙඩි තැබීම

'ශාන්තන්' නැමැත්තෙකු අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවට පරීක්ෂණවලදී සාක්ෂි අනාවරණය වී ඇති බවද රජයේ නීතිවේදියා කියා සිටියේය.

එම කරුණු ප්‍රතික්ෂේප කළ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිවේදියා චෝදනාකර සිටියේ කිසිදු සාක්කියක් නොමැතිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් පිල්ලෙයාන් රිමාන්ඩ්ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙන බවය.

ඉදිරිපත්වූ කරුණු සළකා බැලූ අධිකරණය පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්ණේය.

ඒ අනුව පෙත්සම් විභාගය මැයි මස 30වනදා සිදුකිරීමට අධිකරණය නියෝග කළේය.