"උද්ඝෝෂණ කළ හැකියි; මහජන පීඩා බැහැ"

Image caption මෑන් පවර් සේවකයෝ උද්ඝෝෂණය කළ අවස්ථාවක්

උද්ඝෝෂණ සිදුකිරීම සඳහා පූර්ණ නිදහසක් තිබුනද මහජනයාට පීඩා ගෙනදෙන ආකාරයෙන් එම කටයුතු සිදුකිරීමට හැකියාවක් නොමැති බව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය පවසන්නීය.

අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනා මත පොලිසිය විසින් අත් අඩංගුවට ගනුලැබූ මෑන් පවර් ආයතනයේ සේවකයින් 37 දෙනෙකු ඇප මත මුදාහරිමින් මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙම ප්‍රකාශය කළාය.

සිය රැකියා අහිමි කිරීමට එරෙහිව මෑන් පවර් සේවකයින් පිරිසක් කොල්ලුපිටියේ පිහිටි විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපිට පදික වේදිකාවේ උපවාසයක නිරත වී සිටියහ.

ඉන් මහජන පීඩාවක් සිදුවන බව කියමින් පොලිසිය ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සේවකයින්ට පදික වේදිකාවෙන් ඉවත්වන ලෙස ඉකුත්දා නියෝගයක් නිකුත් කර තිබුණි.

සංවේදී ගැටළු

විත්ති පාර්ශවයේ නීතිවේදීන් අධිකරණයට දන්වා සිටියේ සිය රැකියාව අහිමි කිරීම නිසා සංවේදී වූ මෙම පිරිස උපවාසයක නිරතවූ බවත් ඒ තුළින් කිසිදු මහජන පීඩාවක් සිදු නොවූ බවය.

සංවේදී ගැටළු හමුවේ උද්ඝෝෂණ සිදුකිරීමට ජනතාවට තිබෙන අයිතිය අධිකරණය පිළිගන්නා බව මෙහිදී කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරිය කියා සිටියාය.

එහෙත් පදික වේදිකාවක් අවහිර කරමින් ජනතාවට පීඩාකාරී අයුරින් පවත්වන උද්ඝෝෂණ අනුමත කළ නොහැකි බවත් අධිකරණ නියෝග කඩකිරීම බරපතළ වරදක් බවත් ඇය ප්‍රකාශ කළාය.

කෙසේ වෙතත් සැකකරුවන් 37 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගලික ඇප මත නිදහස් කළ අතර ඇප මත සිටින කාලය තුළ ඔවුන්ට උද්ඝෝෂණ සිදුකිරීමේ තහනමක් නොමැති බව අධිකරණය පැවසීය.