රාජකීය විදුහලට සිසුන් ඇතුළත් කිරීම: හත්දෙනකුගේ වැඩ තහනම්

Image copyright PA
Image caption තවත් ජනප්‍රිය පාසල් 15 ක් සම්බන්ධ විමර්ශන මේ වන විට ආරම්භ වී ඇති අතර වරදකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇත

2017 වර්ෂය සඳහා කොළඹ රාජකීය විදුහලේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවී තිබෙන අක්‍රමිකතාවන් සම්බන්ධව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි නිලධාරීන් තිදෙනෙකුගේ හා අභියාචනා මණ්ඩලයේ සිටි නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පත් කළ විශේෂ විමර්ශන කමිටුව සිදු කළ විමර්ශනවලින් අනතුරුව මෙසේ වැඩ තහනමට ලක්වූ නිලධාරීන් අතර සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ කටයුතු කළ කොළඹ රාජකීය විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු, සහකාර විදුහල්පතිවරයකු හා ගුරුවරයකු ද සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

අභියාචනා මණ්ඩලයේ කටයුතු කළ කැළණිය ධර්මාලෝක විදුහලේ විදුහල්පතිවරයා, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරියක්, කොළඹ රාජකීය විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු සහ ගුරුවරයකු ද ඇතුළත් බවත් අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

මීට අමතරව කොළඹ රාජකීය විදුහලේ කම්කරුවකුගේ වැඩ තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ රාජකීය විදුහලට තම දරුවා ඇතුළත් කිරීමට කූඨ ලේඛන ඉදිරිපත් කළ හේතුවෙනි.

කොළඹ රාජකීය විද්‍යාලයට අමතරව තවත් ජනප්‍රිය පාසල් 15 ක් සම්බන්ධ විමර්ශන මේ වන විට ආරම්භ වී ඇති අතර වරදකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා ගෙන් උපදෙස් ලැබී ඇති බවද අධ්‍යාපන අමාත්ය්යාංශය පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර