ඉතිරි කළොත් තෑගි ?

විශේෂ තෑගි සහ සහන
Image caption "විශේෂ තෑගි සහ සහන"

මාසික විදුලි ගාස්තුව තවදුරටත් අඩු කර ගන්නා පාරිභෝගිකයන් වෙත විශේෂ සහන ලබා දීමේ නව වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බව විදුලි බල හා පුනර්ජනණීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ලබන සතියේ සිට අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා කියා සිටියේ අද (ජන.29) මහනුවර අස්ගිරි විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

"කාගේත් සිත් ඇදගන්නා සුළු තරගකාරී ක්‍රමයක්. තමන්ගේ මාසික බිල මෙතෙක් පැවති සාමාන්‍ය බිලට වඩා අඩු කර ගැනීම තුළ විශේෂ වරප්‍රසාද, විශේෂ තෑගි සහ සහන හඳුන්වා දෙන්නේ, අපි ඉදිරි සතියේ සූදානම්," ඇමතිවරයා සඳහන් කළේය.

මේ අතර රට පුරා ප්‍රදේශ ගණනාවකට වැසි ඇදහැලුනත් විදුලි බලය උත්පාදනය සඳහා භාවිත කරන ජලාශවලට ඉන් බලපෑමක් සිදුවී නොමැති බවත් ඇමතිවරයා පෙන්වා දුණි.

'වැස්සෙන් සහනයක් නැහැ'

Image copyright Getty Images

කැබිනට් මණ්ඩලයේ අනුමතිය ඇතිව මෙගාවොට් 60ක හදිසි විදුලි උත්පාදක යන්ත්‍ර ඇණවුම් කර ඇති බව කී ඇමතිවරයා මෙගාවොට් 500 කට ආසන්න ධාරිතාවකින් යුත් පෞද්ගලික අංශයේ විදුලි උත්පාදක යන්ත්‍රවලින්ද අවශ්‍ය විදුලිය සපයා ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කළේය.

පසුගිය දින කීපය තුළ රට පුරා ප්‍රදේශ ගණනාවකින් වැසි වාර්තා වූ අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත් හා හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නියං තත්වය හමුවේ විදුලි බල උත්පාදනය සඳහා භාවිත කරන ජලාශවල ජල මට්ටම පහත යෑම හේතුවෙන් විදුලි අර්බුදයක් ඇති විය හැකි බවට බලධාරීහු මීට ඉහතදී අනතුරු ඇඟ වූහ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර