‘සයිටම් තීන්දුව’ : ‘වෛද්‍ය සංගමය’ හදිසි රැස්වීමක

වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා මාලබේ පිහිටි සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට නිත්‍යානුකුල හිමිකමක් ඇති බව අභියාචනාධිකරණය අද (ජන.31) තීන්දු කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් විරෝධයක් මතුවෙමින් පවතී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වනවිට හදිසි රැස්වීමක යෙදී ඇති අතර විද්‍යාල ශිෂ්‍යයෝ කොළඹ කොටුවේ විරෝධතාවක යෙදෙති.

සිය තීන්දුව දෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය, අදාළ වෛද්‍ය සිසුන් ලියාපදිංචි කරගන්නා ලෙස දැන්වීය.

අභියාචානාධිකරණය අදාළ තීන්දුව දෙනු ලැබුවේ සයිටම් විදුහලේ උපාධිය හිමිකරගත් තමන්ව වෛද්‍ය වෘත්තීය සඳහා ඇතුළත්කර ගැනීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කළ බවට චෝදනා නගමින් උපාධිධාරිනියක විසින් ගොනුකරන ලද පෙත්සමක තීන්දුව දෙමිනි.

නඩු විභාගයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට දන්වා සිටියේ සයිටම් වෛද්‍ය විදුහල මගින් පිරිනමන උපාධිය නිසි ප්‍රමිතියකින් තොර බවය.

මේ හේතුවෙන් අදාළ උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට බාධාවක් මතුව ඇති බව ද එම සභාව ප්‍රකාශ කර තිබිණ.

එහෙත් එම කරුණු ප්‍රතික්ෂේප කළ අධිකරණය පෙන්වා දුන්නේ සයිටම් වෛද්‍ය විදුහලට උපාධි පිරිනැමීම සදහා වූ අවසරය උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින් විධිමත්ව දෙනු ලැබ ඇති බවය.

Image caption සිසුන් නිහඬ විරෝධතාවක

මේ හේතුවෙන් අදාළ උපාධිය ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නීතිමය බලයක් නොමැති බව කියා සිටි අධිකරණය සිය නියෝගය ප්‍රකාශයට පත් කළේය.

මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ රජයේ වෛද්‍ය විදුහල්වල සිසුන් උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ නිහඬ විරෝධයක යෙදී සිටියදී ඒ අවට පොලිස් ආරක්ෂාව ද තරකර තිබිණ.

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් පැවති හදිසි රැස්වීමෙන් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත්කළ නිවේදනයේ සඳහන් වන්නේ අධිකරණය මෙවැනි තීරණයක් ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරයාගේ වගකීම් විරහිත SAITM හිතවාදී ක්‍රියාකාරීත්වය බවය.

සෞඛ්‍ය ඇමතිවරයා අධිකරණය ඉදිරියේ නඩුවට අදාලව නිවැරදි කරුණු ප්‍රකාශයට පත්කොට නැති බවද එම නිවේදනයේ සඳහන් වන අතර මතුවී ඇති තත්වය පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පෙබරවාරි 02 බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වෙන බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර