ඇඟිලි සලකුණු: 'අලුත් අපරාධ' ඇතුළත් කෙරේ

ඇඟිලි සලකුණු Image copyright Thinkstock

අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීමේදී අපරාධ වැළැක්වීමේ ආඥාපනතට දැනට ඇතුළත් නොවන අපරාධ ද එක්කරමින් පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

විවිධ ව්‍යවස්ථා සංශෝධන මගින් මෑතදී අලුතෙන් අපරාධ වශයෙන් නම් කර තිබෙන අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීමේ හැකියාවක් නොමැති බවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට පෙන්වාදුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක සඳහන්වේ.

එම අපරාධ ද ඇතුලත් කරමින් පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදෙමින් අමාත්‍යවරයා ඉදිරිපත්කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

කෙසේ නමුත් එසේ අලුතෙන් ඇතුලත් කෙරුණු අපරාධ කවරක් දැයි යන්න නිවේදනයේ සඳහන් නොවේ.

එමෙන්ම කිසියම් සැකකරුවකුට අත්හිට වූ දඬුවමක් පණවා ඇති අවස්ථාවක සහ එම සැකකරු ඊට පෙරාතුව කිසියම් චෝදනාවකට වරදකරු බව තීන්දුකර තිබෙන්නේ නම්, අදාළ අත්හිට වූ දඬුවම බලාත්මකව පවතින කාලය තුළ ඔහු හෝ ඇය පොලිස් අධීක්ෂණය යටතේ තැබීමේ යෝජනාවටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය පළකර තිබේ.