"රට බෙදන කතා බොරු"

Image caption "රට බෙදන්න හදනවා කියනවා. විදේශීය බලවේගවලට යටත්වෙලා කියනවා. ඒවා සම්පුර්ණයෙන්ම අසත්‍යයි."

රට බෙදීම සඳහා ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවට ඇතැම් උදවිය අසත්‍ය ප්‍රචාර ගෙනයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද (පෙබ. 01) නැගෙනහිර පළාතේ සංචාරයක යෙදුණු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ එරාවුර්හි පැවති රැස්වීමක් අමතමිනි.

"ජාතීන් අතර සමගියත් සංහිඳියාවත් ඇතිකිරීම සඳහා මූලික විසඳුමක් විදියට අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කටයුතු මේවනවිට කරගෙන යනවා. මේ පිළිබඳව ඇතැම් අය අසත්‍ය ප්‍රචාර කරනවා. අපි රට කඩන්න හදනවා කියනවා. රට බෙදන්න හදනවා කියනවා. විදේශීය බලවේගවලට යටත්වෙලා කියනවා. ඒවා සම්පුර්ණයෙන්ම අසත්‍යයි." යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ රට බෙදීමකින් තොරව සංහිඳියාව ශක්තිමත් කෙරෙන බලය බෙදීමක් සිදු කළයුතු බවට විපක්ෂ නායකවරයා ද ඉල්ලීමක් කර ඇති බවය.

Image caption "මේ කාරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ සහයෝගය අපි පතනවා"

"පිංකමක්"

"විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමා කිව්වා රට කඩන්නේ බෙදන්නේ නැතිව මේ රටේ බලය බෙදීමේ අවශ්‍යතාවක් එතුමා දකින්නේ කියල. ඒ උතුම් අරමුණ ඉටුකර ගැනීම සඳහා අපි රජයක් විදියට කැපවී සිටිනවා." යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට සහභාගිවී සිටි විපක්ෂ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා සභාව අමතමින් කියා සිටියේ මෙතෙක් පැවති සාකච්ඡාවලින් තීරණයකට පැමිණ ඇත්තේ ඒකීය රාජ්‍යයක් දේශපාලන විසඳුමක් ඇතිවිය යුතු බවය.

"මේ කාරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ සහයෝගය අපි පතනවා. ජනතාව අතර ද්වේශය ඇති නොකර, හැත්තෑ අවුරුද්දක් පුරා නොවිසඳුණු ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාගැනීමට උදව් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. එය පිංකමක්" යනුවෙන් විපක්ෂ නායකවරයා කියා සිටියේය.