එජාපයෙන් කුඩම්මාගේ සැලකිලි - ශ්‍රීලනිප

අගමති සහ ජනපති Image copyright Getty Images

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමතිවරුන් සිය පාක්ෂිකයන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඒ බව සඳහන් කළේ ළඟදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණ ඉලක්ක කරගෙන පළාත් සභාවල මූල්‍ය ප්‍රතිපාදන කප්පාදු කරන බවට බස්නාහිර පළාතේ මහ ඇමති ඉසුර දේවප්‍රිය කරන චෝදනාව පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමිනි.

බලය බෙදීමේ න්‍යාය අනුව කටයුතු කරන්නේ නම් ප්‍රතිපාදන එසේ කප්පාදු කිරීම වැරදි බව පවසන අමාත්‍ය මුස්තාෆා, එවැන්නක් පිළිබඳව මහ ඇමතිවරුන් තමන් දැනුවත් කර නැති බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් බහුතරයක් සම්මුතිවාදී ආණ්ඩුවේ සහයෝගයෙන් ක්‍රියාකරන නමුත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමතිවරුන් සිය පාක්ෂිකයන්ට 'කුඩම්මාගේ සැලකිලි' දක්වන බවත් අමාත්‍ය මුස්තාෆා පැවසීය.

එසේ නම් එය දෙපාර්ශවය අතර බරපතල ගැටුමක් නොවේදැයි සංදේශය විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ, සම්මුතිවාදී ආණ්ඩුව යනු 'ප්‍රේම සම්බන්ධයක් හෝ කතාකරපු මගුලක්' නොවන බවයි.

Image caption "සම්මුතිවාදී ආණ්ඩුව කියන්නේ ප්‍රේම සම්බන්ධයක් හෝ කතාකරපු මගුලක් නෙවෙයි"

"එක පක්ෂෙකටවත් 113 ක් ලැබුණේ නැති නිසා පක්ෂ දෙක කඹයකින් නිකම් බැඳපු ආණ්ඩුවක්. හැබැයි අපිට ලොකු චෝදනා පක්ෂේ තුළ නගිනවා එක්සත් ජාතික පක්ෂේ සමහර ඇමතිවරුන්ගේ කුඩම්මාගේ සැලකිලි නිසා ඇයි අපි හැමදෙයක්ම සාධාරණව කරන්න උත්සාහ කරන්නේ කියල," අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වැඩිදුරටත් පැවසීය.

ලන්ඩනයේ සංචාරයක් අතරතුර බීබීසී සිංහල ෆේස්බුක් අඩවිය ඔස්සේ සජීවී සංවාදයකට සහභාගි වූ බස්නාහිර පළාතේ මහ ඇමති ඉසුර දේවප්‍රිය, ළඟ එන පළාත් සභා මැතිවරණ අරමුණ කරගෙන පළාත් සභාවලට එරෙහිව දේශපාලන කප්පාදුවක් ක්‍රියාත්මක කරන බවට බස්නාහිර පළාතේ මහ ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයට චෝදනා කළේය.

විශේෂයෙන්ම මේ වසරේ අයවැයෙන් පළාත් සභාවලට වෙන්කෙරෙන මුදල් කප්පාදු කර ඇති බව පවසන මහ ඇමතිවරයා, සිය පළාතේ වාර්ෂික ප්‍රතිපාදනවලින් රුපියල් බිලියන 9 ක් කප්පාදු කර ඇති බවට මුදල් අමාත්‍ය රවි කරුණානායකට චෝදනා කළේය.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ සංකල්පයක් වන 'ළඟම පාසල -හොඳම පාසල' සංකල්පය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදෙන බවටත් ඔහු මුදල් ඇමතිවරයාට චෝදනා කරයි.

"අපි දැනටමත් රුපියල් මිලියන 600 කට අහුවෙලා. ප්‍රතිපාදන කපල තියෙද්දී අපට අපේ ප්‍රතිපාදනවලින් ඒවා කරන්න බෑ," ඔහු පැවසීය.

මහ ඇමතිවරයා එල්ල කරන චෝදනා පිළිබඳව විමසීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.