කුමාර්ට පුරවැසිභාවය: “අරගලය දිනීමක්”

Image caption කුමාර් ගුණරත්නම්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පාරම්පරික පුරවැසිභාවය ලැබීම ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් බොහෝ දෙනකු එක්ව ගෙනගිය අරගලයේ ජයග්‍රාහී ප්‍රතිපලයක් බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පාරම්පරික පුරවැසිභාවය ලැබීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රතිචාරය පිළිබඳව බීබීසී සංදේශය විසින් කරන ලද විමසීමකදීය.

'කුමාර් ගුණරත්නම් සහෝදරයා ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයයි. ද්විත්ව පුරවැසිභාවය අපි ඉල්ලාසිටියේ නැහැ. මෙම පුරවැසිභාවය පිරිනැමීම පිළිබඳව අපි ඔස්ට්‍රේලියාවට දැනුම් දෙනවා. එවිට ඔහුගේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කෙරෙනවා' පුබුදු ජාගොඩ වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුව කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පාරම්පරික පුරවැසිභාවය හිමිකරන ලද්දේ කිසිදු කොන්දේසියකින් තොරව බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පවසයි.

ද්විත්ව පුරවැසිභාවය බැහැර කරමින් කුමාර් ගුණරත්නම් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පාරම්පරික පුරවැසිභාවය ඉල්ලා සිටියේ දේශපාලන සදාචාරාත්මක පියවරක් වශයෙන් බව ද ඔහු සඳහන් කළේය.

කෙසේවුවද, කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලැබීම පක්ෂයේ ඉදිරි කටයුතුවලට පහසුවක් වනු ඇතැයි සළකන බව ද පුබුදු ජාගොඩ කියාසිටියේය.

ද්විත්ව පුරවැසිභාවය අහිමි කරගනිමින් ශ්‍රී ලංකාවේ පමණක් පුරවැසිභාවය ඉල්ලා සිටියේ වත්මන් ආණ්ඩුව යටතේ වාමාංශික සටන්කාමීන්ට ශ්‍රී ලංකාව තුළ ආරක්ෂාවක් සහතික වී ඇතැයි සළකන නිසාදැයි බීබීසී කළ විමසීමට ප්‍රතිචාර ලෙස පුබුදු ජාගොඩ කියාසිටියේ එවැනි විශ්වාසයක් නොමැති බවය.