වැඩි මිලට සහල් විකුණන වෙළෙඳ සැල් 'වටලනවා'

සහල්

පාලන මිලට වඩා ඉහල මුදලකට සහල් අලෙවිකරන වෙළෙඳසල් වටලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන මෙන් පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමතිවරයා පවසයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව සඳහන් කළ අමාත්‍ය රිෂාඩ් බදුයිදීන්, සහල් සඳහා අයකරන බදු මුදල් කිහිපවතාවක්ම අඩු කළ නමුත් පාරිභෝගිකයාට ඒ සහනය ලබා නොදෙන බවට වෙළෙන්දන්ට චෝදනා කළේය.

"ජීවන වියදම් පිළිබඳ කමිටුවෙන් තීරණයක් ගත්තා සහල් කිලෝඑකක් රුපියල් 66.00ට දිය යුතුයි කියලා. ඒ නිසා වෙළෙන්දන් පැත්තෙන් අපි සළකා බලා සහල් ආනයනයේ දී තිබෙන බද්ද රුපියල් 15.00 දක්වා අඩු කළා. ඒ අවස්ථාවේ දී වෙළෙන්දන් කීවා එයාලට දෙන්න පුළුවන් රුපියල් 75.00 බැගින් පමණයි කියා," ඇමතිවරයා සඳහන් කළේය.

"නැවත අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් ඇමති රවී කරුණානායක මහතා, මලික් සමරවික්‍රම මහතා ඇතුළු අමාත්‍යවරු සාකච්ඡා කරලා බදු මුදල රුපියල් 5.00 දක්වා අඩු කළා. මේ අනුව සහල් කිලෝ එකක් රුපියල් 66.00 ක මුදලකට අළෙවි කළ හැකියි. නමුත් වෙළෙන්දන් කිසිවෙකුත් පාලන මිලට සහල් අලෙවි කරන්නේ නැහැ."

දිවයින පුරා තිබෙන සතොස ශාඛා 320ක පාලන මිලවන රුපියල් 66.00 ට සහල් මිලදීගත හැකි බව පෙන්වාදුන් අමාත්‍ය රිෂාඩ් බදුයිදීන්, රජයට සහල් ආනයනය කර වෙළෙඳපොළ මිල පාලනය කළ හැකි වුව ද රටේ ගොවියා හා වෙළෙන්දන් ගැන සිතා එසේ නොකළ බව වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් පාලන මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවිකරන වෙළඳුන්ට එරෙහිව නීතිය 'තදින් ක්‍රියාත්මක කරන' බව අවධාරණය කළේය.