හම්බන්තොට: වරාය අධිකාරියේ නීතිවේදියා ඉවතට

හම්බන්තොට වරාය

හම්බන්තොට වරාය චීන ආයෝජකයිනට පැවරීමේ ගිවිසුම අවලංගු කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම් විභාගයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා ඉවත්කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය විරෝධය පළකරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසින් ඉදිරිපත්කර තිබෙන පෙත්සම ඉකුත් 13 වෙනි දින කැඳවූ අවස්ථාවේදී වරාය අධිකාරිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිවේදී සංජිව ජයවර්ධන යෝජිත ගිවිසුමට එළඹීමේදී වරාය අධිකාරිය නොසළකා කටයුතු කර ඇතැයි චෝදනා කළේය.

එහෙත් නඩුව අද කැඳවූ අවස්ථාවේදී මින් ඉදිරියට වරාය අධිකාරිය වෙනුවෙන් ද තමන් පෙනී සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

නීතිපතිවරයාගේ පෙනී සිටීමට විරෝධය පළකළ පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදියා, ප්‍රශ්නගත ගිවිසුමෙන් වරාය අධිකාරියට සිදුවන අගතිය ජනාධිපති නීතිවේදී සංජිව ජයවර්ධන මනාව පෙන්වා දීම හේතුවෙන් ඔහු මෙම නඩුවෙන් ඉවත් කිරීමට රජය කටයුතු කර ඇති බවට චෝදනා කළේය.

එම චෝදනාව ප්‍රතික්ෂේප කළ රජයේ නීතිවේදියා, නීතිපතිවරයාගේ අවසරයකින් තොරව රාජ්‍ය ආයතන සඳහා පුද්ගලික නීතිවේදීන් යෙදවීමට ඉඩක් නොමැති බව පැවසීය.

Image caption හම්බන්තොට ඉඩම් පවරාගැනීමට විරෝධය

තවදුරටත් කරුණු දැක්වූ රජයේ නීතිවේදියා, පෙත්සම්කරු චෝදනා කරන ගිවිසුම පසුගිය 2016 වසරේ හදිසියේ ඇතිවූවක් නොවන බවත් හම්බන්තොට වරාය චීන ආයෝජකයිනට පැවරීමේ වැඩසටහන ආරම්භ වන්නේ 2012 වසරේ සිට බවත් සඳහන් කළේය.

මුලින්ම එම අවබෝධතා ගිවිසුම පරික්ෂා කිරීම අත්‍යවශ්‍ය බව එහිදී අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේය.

ඒ නුව එම ගිවිසුමේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් නීතිපතිවරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව වැඩිදුර සළකා බැලීම ලබන 13 වෙනි දින දක්වා කල් තැබීය.

පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව හම්බන්තොට වරාය සහ එම ප්‍රදේශයේ ඉඩම් අක්කර 15000 ක් චීන ආයෝජකයිනට පැවරීමට රජය ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියි.