"ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට ආර්ථික සමෘධිය අවශ්‍යයි"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට ආර්ථික සමෘධිය අවශ්‍යයි"

ජාතියක් ලෙස නිදහස ලැබූ ශ්‍රී ලංකාව ආර්ථික නිදහස ලබාගැනීම වෙනුවෙන් කැපවිය යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති 69වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අමතා කතාකළ ජනාධිපතිවරයා රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට නම් පළමුව ආර්ථික සමෘද්ධිය ඇතිකරගත යුතු බව පෙන්වා දුන්නේය.

ජාතික සමගිය තේමා කරගනිමින් පැවැත්වුණු මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් ද, පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් මැති ඇමතිවරුන්, මෙන්ම රාජ්‍ය නිලධාරින් සහ තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් ගාලු මුවදොර පිටියට පැමිණ සිටියහ.

සිය නිදහස් දින කතාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා 'දැනුම මුල්කරගත් අධ්‍යාපනයක්, දැනුම මුල්කරගත් ආර්ථිකයක් සමග නවෝත්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ පෙරමුණ ලබා දෙන්නේ රටේ තරුණ පරපුර වෙත බව සඳහන් කළේය.

21 වන සියවසට ගැළපෙන නූතන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමට නම් දේශපාලන ස්ථාවරභාවය, සමාජ සංවර්ධනය මෙන්ම රටතුළ වාර්ගික සංහිඳියාව සහ ආගමික සහජීවනය ශක්තිමත්වීම අත්‍යාවශ්‍යය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව තුළ වාර්ගික සංහිඳියාව සහ ජාතික සමඟිය ඇති කිරීම සඳහා රජයක් ලෙස විශාල කැපවීමකින් හා අධිෂ්ඨානයකින් යුතුව ගෙන යන වැඩපිළිවෙළ මේ වන විට ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද පැසසුමට ලක්ව තිබෙන බව ජනාධිපතිවරයා පවසයි.

රට සංවර්ධනය කරා ගෙන යාමට නම් සියලු දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරින් වංචාව, දූෂණය, නාස්තිය සහ හොරකම පිටුදකිමින් අවංකභාවයෙන් සහ කැපවීමෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍යය බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.