"වීරවංශ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්"

විමල් වීරවංශ මන්ත්‍රීවරයා

රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා මත විමල් විරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන නොමැති බවට ඔහුගේ නීතිවේදියා චෝදනා කරයි.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට පෙර නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කරන ලෙස කතානායකවරයා පොලිසියට දන්වා තිබෙන බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ල අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිවේදී ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ සඳහන් කළේය.

"විමල්ට ඇප දෙන්න තරම් හේතුවක් නැහැ"

වීරවංශ හිතවතුන්ට සහ ඥාතීන්ට රජයේ වාහන දීලා -අජිත්

වීරවංශ අත්අඩංගුවට

එබැවින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පෙර පොලිසිය නීතිපති උපදෙස් ලබා නොගත්තේ දේශපාලන පළිගැනීමක් සිදුකිරීමේ අටියෙන් බවට ද නීතිවේදී චෝදනා කළේය.

එම චෝදනාවට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සෑම අවස්ථාවකදීම නීතිපති උපදෙස් ලබාගැනීම අනවශ්‍ය බව සඳහන් කළාය.

ලසන්ත අලගියවන්න

මේ අතර අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, පසුගිය පාලන සමයේ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වාහන භාවිත කළ ආකාරය පිළිබඳවත් පරීක්ෂණයක් පැවැත්වූ බව ප්‍රකාශ කළේය.

හිටපු නියෝජ්‍ය ඇමති අලගියවන්න සිය ලිපි ශීර්ෂය යටතේ වාහන තුනක් ලබාගෙන, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඒවා යොදවා තිබුණු බවට සාක්ෂි ලැබී ඇති බවත් පොලිසිය පැවසීය.

එය පොලිසියේ පක්ෂග්‍රාහී බව ප්‍රදර්ශනය කිරීමක් බවට චෝදනා කළ විත්තියේ නීතිවේදීහු, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපති සහ වත්මන් ආණ්ඩුපක්ෂ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ වාහන නිකුත්කළ අවස්ථා පිළිබඳව පරීක්ෂණ මගහැර ඇතැයි පොලිසියට චෝදනා කළහ.

ඒ පිළිබඳවත් පරීක්ෂණ පවත්වා මීළඟ නඩු දිනයේ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

විමල් විරවංශ මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 20 වෙනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියම කළ අධිකරණය, පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන්නැයි පොලිසියට නියෝග කළාය.

සබැඳි විෂයයන්