අපරාධ යුක්ති විනිශ්චය කොමිසමට නීතිපතිගෙන් සංශෝධන

ශ්‍රී ලංකා රුපියල් Image copyright Reuters

බරපතල දූෂණ චෝදනා විභාගකර, දඬුවම් දීමේ බලතල සහිත අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් පිහිටුවීම සම්බන්ධ කෙටුම්පතට නීතිපතිවරයා ඉදිරිපත් කළ සංශෝධන ඇතුලත් කරමින් එය සංශෝධනය කරන බව අමාත්‍ය සරත් අමුණුගම පවසයි.

ආචාර්ය සරත් අමුණුගම විසින් කෙටුම්පත් කරන ලද අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් පිහිටුවීමේ යෝජනාවට පසුගියදා කැබිනට් අනුමැතිය පළවිය.

ඉන් අනතුරුව එය නීතිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණ.

කොමිෂන් සභාව පිහිටුවීම සම්බන්ධ පනත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයක අනුමැතිය මෙන්ම එය ජනමත විචාරණයකින්ද සම්මත විය යුතුය යන්න නීතිපතිවරයාගේ නිර්දේශය බව ආචාර්ය සරත් අමුණුගම බීබීසී සංදේශයට පැවසීය.

'ජනාධිපති කොමිසමක් නොවේ'

රාජපක්ෂ පරිපාලනය සමයේ මෙන්ම සහ වත්මන් ආණ්ඩුව සමයේදීත් සිදු වූ බව පැවසෙන බරපතල දූෂණ චෝදනා සම්බන්ධයෙන් විභාගකර, දඬුවම් දීමේ බලතල එම විනිශ්චය සභාවට පැවරෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

Image copyright Getty Images

"කාලසීමාවක් නෑ. කිසිම කාලසීමාවක් නෑ."

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂාකර වාර්තාකිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරනු ලැබුවේ ජනාධිපති කොමිෂන් සභාවක් නොව පරීක්ෂණ කමිටුවක් පමණක් බවත් විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍යවරයා සනාථ කළේය.

"නෑ නෑ. ඒ ජනාධිපතිතුමා පත්කරලා තියෙන්නේ Committee of Inquiry කියන එක. විමසුම් කොමිටියක්," ඔහු පැවසීය.

එම කමිටුවට චෝදනා විභාග කර දඬුවම් දීමේ බලයක් නැතත්, තමන් යෝජනා කරන්නේ චෝදනා විභාගකර දඬුවම් දීමේ පූර්ණ බලතල සහිත විනිශ්චය සභාවක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.