ක්‍රිකට් තරග පාවාදීමට දැඩි දඬුවම් - තිලංග

ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ දේශීය තරගාවලියක් අතරවාරයේ තරග පාවාදුන් බවට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණයේදී කිසිවකු වැරදිකරුවන් බව තීරණය වුවහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදීමට නොපැකිළෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ආයතනයේ සභාපති, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ඒ බව කියා සිටියේ බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

එක් තරගයකදී දිනක් ඇතුලත ලකුණු 600 ක් රැස්කිරීම සහ තවත් තරගයකදී කණ්ඩායමක සියලු ක්‍රීඩකයන් ලකුණු 32 කට දැවීයාම ඇතුළු චෝදනා කිහිපයක් පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන බව සඳහන් කළ සභාපතිවරයා, එම පරීක්ෂණයේ ප්‍රතිඵල මේ සතිය ඇතුලත ලබාදෙන මෙන් තමන් ඉල්ලීමක් කර තිබෙන බවත් සඳහන් කළේය.

"පැහැදිලිවම අඩුපාඩුවක් වෙලා තියෙනවනම් ඒ අයට දැඩි දඬුවම් දෙනවා. හැබැයි ඒ ගැන කියන්න තාම කලින් වැඩියි," ඔහු පැවසීය.

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්කිරීමේ කිසිදු සැලසුමක් නොමැති බව අවධාරණය කළ සභාපතිවරයා, තේරීම් කමිටුවේ කටයුතුවලට 'ඇඟිලි ගසන' බවට එල්ලවන චෝදනා ද ප්‍රතික්ෂේප කළේය.

"තේරීම් කමිටුවට අපි සම්පූර්ණ නිදහස දීල තියෙනවා හැබැයි අපි නිරන්තරයෙන්ම සාකච්ඡා කරනවා අපේ ගමන් මාර්ග," ඔහු පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න)

Image copyright Getty Images

එවැනි චෝදනාවක් එල්ලවූයේ තමන්ට නොවන බව බීබීසී සංදේශයට කියා සිටි නියෝජ්‍ය කතානායකවරයා, කණ්ඩායම පරදින අවස්ථාවල "ක්‍රිකට්වලට ආදරය කරන" ඇතැම් පුද්ගලයන් විසඳුම් යෝජනා කිරීම "සාමාන්‍ය දෙයක්" බවත් සඳහන් කළේය.

පසුගියදා ඩුබායිහි පැවති අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ විධායක කමිටු රැස්වීමේදී අයිසීසීයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකාව ඡන්දය භාවිත කළ බවත් ඔහු සනාථ කළේය.

එම ව්‍යවස්ථා සංශෝධනය සලකා බැලීම පිණිස ප්‍රමාණවත් කාලයක් නොලැබුන බැවින් ඡන්ද විමසීම කල් දමන මෙන් තමන් කළ ඉල්ලීම මෙන්ම මූල්‍ය ව්‍යහයේ සංශෝධන සලකා බැලීම පිණිස කාලය ලබාදෙන මෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කළ ඉල්ලීමත් අයිසීසී සභාපතිවරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එයට එරෙහිව සිය ඡන්දය භාවිතා කළ බව තිලංග සුමතිපාල පැවසීය.

කෙසේ නමුත් BIG3 නමින් හැඳින්වෙන ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවට වැඩි ආදයමක් ලැබෙන ක්‍රමවේදය වෙනස්කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම එකඟ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

"ශ්‍රී ලංකාවට අතිශය වාසිදායකයි. ඒ වාසිදායක වුනාට ඒක ව්‍යවස්ථාවට දාන්න බෑනේ. අනික ඉන්දියාව තරහ කරගෙන වැඩිපුර ලාභගන්න හදනවට වඩා හොඳයි ඉන්දියාව යාළුකරගෙන ප්‍රතිලාභ ගන්න එක."