'අධ්‍යාපනයට වෙන්කරන මුදල්වල නිසි භාවිතයක් නැහැ'

Image copyright President office
Image caption මුදල් වියදම් කිරීමේ ප්‍රමුඛතාවය පිළිබඳව පාසැල් වලට මෙන්ම අමාත්‍යංශ නිලධාරීන්ටද උපදෙස් ලබාදිය යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා වෙන්කරන මුදල් නිසි ලෙස භාවිතයට ගන්නේද යන්න ගැටළුවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද (10) පෙරවරුවේ කොළඹ ඩී එස් සේනානායක විදුහලට පනස් වසරක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයකදී ඔහු මේ බව පැවසීය.

" මම දන්නෙ නැහැ අපි අධ්‍යාපන අමාත්‍යංශයට සහ පළාත්සභාවලට චක්‍රලේඛයක් මගින් දන්වල තියනවද කියන කාරණය. දැන් ගිය අවුරුද්දේ පළාත්සභාවලට වෙන් කරපු සල්ලි, සමහර පළාත් අධ්‍යාපන ඇමතිවරු කිව්ව අපිට සල්ලි වැඩියි, ඒනිසා අධ්‍යාපනයට දුන්න සල්ලි වෙනත් අමාත්‍යංශ වලට, වෙනත් විෂයයන් වලට මාරු කරන්න කියල" යනුවෙන් පැවසූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමා මුහුණදුන් අත්දැකීමක් විස්තර කරමින් පැවසුවේ ඇතැම් පාසැල් වලට සිසු දරුවනට අවශ්‍ය මූලික පහසුකම්වත් ලබාදී නොමැතිබවය.

"මම පහුගිය සතියෙ අක්කරෙයි පත්තු සමන්තුරෙයි ප්‍රදේශයේ පාසැල් වලට ගියේ කලින් දන්වලා නොවෙයි. දරුවන්ගෙන් අහපුවම මොනවද දරුවනේ තියන අඩුපාඩු කියල, වැසිකිළි නෑ, කැසිකිළි නෑ, බොන්න වතුර නෑ, ඩෙස්ක් පුටු නෑ" යනුවෙන් සඳහන් කළ ජනාධිපතිවරයා අධ්‍යාපනයට වෙන්කරන මුදල් වියදම් කිරීමේ ප්‍රමුඛතාවය පිළිබඳව පාසැල් වලට මෙන්ම අමාත්‍යංශ නිලධාරීන්ටද උපදෙස් ලබාදිය යුතු බව අවධාරණය කළේය.

මේ අතර මෙම රැස්වීමේදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් පැවසුවේ වසර දෙකක් ඇතුළත 'ඩිජිටල් පන්තිකාමර' වැඩසටහන ඇතුළු අධ්‍යාපනයේ වෙනස්කම් රාශියක් සිදුකරන බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර