මුලතිව් වැසියන් ඉල්ලන්නේ 'හමුදාවේ ඉඩම් නොවේ'

කේපාපිලව් වැසියන්ගේ උද්ඝෝෂණය

දින දොළහක් තිස්සේ මුලතිව් කේපාපිලව් ගම්මානය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවයක නිරතව සිටින ගම්වැසියන් ඉල්ලා සිටින්නේ ගුවන් හමුදාව සතු ඉඩම් නොවන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

බලපත්‍ර සහිතව වසර ගණනාවක් පදිංචිව සිටි සිය ඉඩම් යළි ලබාදෙන මෙන් ඔවුන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චී දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් පැවසීය.

කේපාපිලව් ගම්මානයේ වැසියන්ගේ විරෝධතාවයට සහාය පළකරමින් යාපනය නගරයේ සංවිධානය කර තිබුණු විරෝධතාවකට එක් වූ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවා එම ඉඩම් ලබාදීමට එකඟත්වය පළකළත් ගුවන් හමුදාව එම ඉඩම් නිදහස් නොකරණ බව සඳහන් කළේය.

පවුල් 317 කට සිය ඉඩම් අහිමි වී ඇති බව පවසන මන්ත්‍රීවරයා, ඔවුන්ගෙන් පවුල් 243 කටම බලපත්‍ර ඇති බවත් පැවසීය.

කෙසේ නමුත් ගම්වාසීන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කරන ගුවන් හමුදාව පවසන්නේ, සිය කඳවුර ඉදිකොට තිබෙන්නේ රජයේ ඉඩමක බවයි.

එම ඉඩම් සඳහා බලපත්‍ර තිබේ නම් ගැටලුව නීති මාර්ගයෙන් විසඳා ගන්නා මෙන් උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලීමක් කළ කඳවුර භාර නිලධාරියා, උද්ඝෝෂණය නවත්වන මෙන් ද ගම්වාසීන් ගෙන් ඉල්ලා සිටියේය.

ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස අවස්ථාවක් සලසා දෙන මෙන් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් ලිඛිත ඉල්ලීමක් කොට තිබේ.

කේපාපිලව් වැසියන්ගේ උද්ඝෝෂණයට සහාය පළකරමින් පසුගියදා මීගමුවේ ද උද්ඝෝෂණයක් පැවැත්විණ.

වැඩිදුර කරුණු විමසීම පිණිස ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.