වන්දි නොලද උමාඔය ගොවීන් අධිකරණය ඉදිරියේ

Image caption උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව පැවති ජනතා උද්ඝෝෂණයක්

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි ගෙවීමේ කටයුතු මෙතෙක් ඉටුවී නොමැති බව එම ගොවිහු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අද (13)කියා සිටියහ.

අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවටපත් තමන්ට සහන සලසන මෙන් ඉල්ලා ගොවීන් පිරිසක් ගොනුකළ පෙත්සමක් කැඳවු අවස්ථාවේදී එම දැනුම් දීම සිදුවිය.

එම චෝදනා ප්‍රතික්ෂේප කළ රජයේ නීතිඥවරයා ප්‍රකාශකළේ වන්දිලාභීන් හඳුනාගැනීමේ කටයුතු බොහෝදුරට අවසන් බවය.

උමාඔය ව්‍යාපෘතිය යටතේ නිවාස හානිවූ ගොවි පවුල් 668 ක් සහ වගා හානිවුවන් හත්සිය දෙදෙනකු හඳුනාගෙන ඇති බව පැවසූ රජයේ නීතිඥවරයා ඔවුන්ට වන්දි ගෙවීම් කටයුතු කඩිනමින් ඉටුකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ සහන කාර්යාලයක් පත්කර ඇති බව අධිකරණයට දැනුම් දුන්නේය.

පීඩාවට පත් ගොවීන්ට පානීය ජලය සපයාදීමේ කටයුතු ලබන මාර්තු මස අවසන් වනවිට සම්පුර්ණ කිරීමට හැකි බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ඒ අනුව පෙත්සම ලබන අප්‍රේල් මස 04 වනදා යළි කැඳවීමට නියම කළ අධිකරණය එදින අදාළ කටයුතුවල ප්‍රගතිය වාර්තා කරනමෙන් රජයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර