ශ්‍රී ලංකාවේ සංහිඳියාවට ජගත් සංවිධානවල සහයෝගය

Image caption විදේශීය නියෝජිතයන් මහඇමතිවරයා හමුවේ

ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීම සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දෙන බවට ජාත්‍යන්තර සංවිධාන දෙකක් ප්‍රතිඥා දුන්හ.

එක්සත් ජාතීන්ගේ සංගමයේ සහ යුරෝපා හවුලේ නියෝජිතයන් උතුරු පළාතේ සිදුකළ සංචාරයකින් අනතුරුව එම ප්‍රතිඥාව දෙනු ලැබුණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකාරක උනා මැකෝලි සහ යුරෝපා සංගමයේ තානාපතිවරියක වන ටූලයි මාර්ග් අද (පෙබරවාරි 15)යාපනයේ සංචාරයක නිරත වූ අතර, ඔවුන් ඉහත කී ප්‍රතිඥාව දුන්නේ උතුරු පළාතේ මහඇමති සී.වී.විග්නේස්වරන් හමු වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව මෙන්ම උතුරු පළාත් සභාවේ කටයුතු සම්බන්ධයෙන් ද විදේශීය නියෝජිතයෝ මහඇමති විග්නේශ්වරන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලය බෙදා හැරෙන ආණ්ඩුක්‍රමයක අවශ්‍යතාවය සහ එවැනි ක්‍රියාමාර්ගයක් මගින් උතුරු පළාත් සභාවේ බලතල වැඩිවෙන ආකාරය කෙරෙහිත් දෙපාර්ශවයේ අවධානය යොමුවිය.

එකී කරුණු සම්බන්ධයෙන් උතුරු පළාතේ මහඇමති සී.වී.විග්නේස්වරන් ඉදිරිපත් කළ යෝජනා හා අදහස් ඉතා ප්‍රශස්ත මට්ටමක පවතින බව යුරෝපා හවුලේ තානාපතිවරිය යාපනයේ පැවැත්වුන මාධ්‍ය හමුවේ දී සඳහන් කළාය.

ජාතීන් අතර සංහිදියාව වර්ධනය කිරීම පිණිස රජය ගෙන යන වැඩ පිළිවෙලත් ඊට උතුරු පළාත් සභාව දක්වන සහයෝගයත් ප්‍රධාන අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවේදී ඉස්මතු වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධිකාරකවරයා මාධ්‍යවේදීන් ඉදිරියේ කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයත් යුරෝපා හවුලත් උතුරු පළාතේ සංවර්ධනය සහ වෙනත් කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය හරහා ආධාර හා උපකාර ලබාදෙන ආකාරයත් යාපනයට පැමිණි එම විදේශීය නියෝජිතයෝ විස්තර කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර