ගුගල් ලූන් අනතර්ජාල බැලුන් ව්‍යාපෘතිය අසාර්ථකද ?
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගූගල් ලූන් ව්‍යාපෘතිය අසාර්ථකද ?

සංඛ්‍යාත ගැටලුවක් හේතුවෙන් 'ගූගල් ලූන්' අන්තර්ජාල වැඩසටහන අසාර්ථක වූ අතර දැනට එය ඇනහිට ඇති බව තමා පිළිගන්නා බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් භාර ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ 'ගූගල් ලූන්' අන්තර්ජාල ව්‍යාපෘතියේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී බීබීසී විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කුලුනු රහිතව, ගුවනේ සැරිසරන සංඥා සහිත බැලුනයක් මගින් අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම ගූගල් ලූන් ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරුණු අතර, සමස්ත ශ්‍රී ලංකාව ආවරණය කරමින් අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් පසුගිය වසරේ අත්හදා බලනු ලැබීය.

විද්‍යුත් සංඛ්‍යාත

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විද්‍යුත් සංඛ්‍යාත ලබාගැනීම අතින් මතු වී ඇති දුෂ්කරතා හේතුවෙන් ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් ඇතිවී තිබෙන බව හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පවසයි.

අන්තර්ජාතික විදුලි සංදේශ සංගමයේ (ITU) රෙගුලාසි හේතුවෙන් මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලා සිටි සංඛ්‍යාත නිදහස් කිරීමට නොහැකි බව විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබෙන බව කියාසිටි ඇමතිවරයා, කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් පරිදි ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වෙන බව සඳහන් කළේය.

'ගූගල් ලූන්' ව්‍යාපෘතියේ අත්හදා බැලීම් සඳහා ශ්‍රී ලංකාවේ මහජන මුදල් වැය නොකළ බව සඳහන් කළ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් භාර ඇමති හරීන් ප්‍රනාන්දු, ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථක වීනම් සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් සැලසීමේ හැකියාව තිබුණ බව පෙන්වා දුන්නේය.

බදු වැඩිකිරීම

අන්තර්ජාල බදු වැඩිකිරීම ගැන තමා පෞද්ගලිකව එකඟ නැතත් ව්‍යාපෘතියේ අරමුණක් වන්නේ ශ්‍රී ලංකාවේ දැනට ඇති ජංගම දුරකථන සමාගම් පහ තුනක් දක්වා අඩුකොට 3G හා 4G තාක්ෂණයෙන් රට ආවරණය කිරීමේ හැකියාව ඔවුන්ට ලබාදීම බව ඇමතිවරයා පවසයි.

විදුලි සංදේශ නියාමන කොමිසම සිය අමාත්‍යංශයට අයත් නොවන බව ප්‍රකාශ කළ හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා, විද්‍යුත් සංඛ්‍යාත ලබාදීමක් මෑතදීත් සිදුකොට ඇති බව තමාට දැනගන්නට ලැබුනද ඒ සඳහා වෙන්දේසියක් පැවැත්වීදැයි තමා නොදන්නා බව කියාසිටියේය.