බෝට්ටු අනතුරෙන් එකොළහක් මරුට
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බෝට්ටුව පැදෙව්වේ ආධුනිකයෙක්ද?

බේරුවල සිට කළුතර බලා ධීවරයන්ගේ වන්දනා නඩයක් රැගෙන යාත්‍රාකරමින් සිටි බෝට්ටුවක් පෙරලීමෙන් එකොළොස් දෙනකුවත් මියගොස් තිබේ.

බෝට්ටුවේ කොපමණ පිරිසක් ගමන් කළේ ද යන්න තවමත් හෙළි වී නැති බව බීබීසී සංදේශයට කියා සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදී රත්න ශ්‍රී ගමගේ, බෝට්ටුව පැදවූ තැනැත්තා ආධුනිකයකු බව හෙළි වී ඇති බවත් පැවසීය.

"මේක ධීවරයන්ගේ වාර්ෂික පෙරහැරක්. ඒගොල්ල බෝට්ටුවල නැගලා කළුතර සිරිකුරුස දේවස්ථානය දකින තෙක් ගමන් කරනවා. ඊට පස්සේ හැරිලා ආපහු එනවා," ඔහු පැවසීය.

එසේ පෙරහැරේ ගමන්කළ එක් බෝට්ටුවක් ආපසු හරවන අවස්ථාවේ පෙරලී තිබේ.

සාමාන්‍යයෙන් බෝට්ටුවක් මුහුදු යාමේදී නියමිත බර තබාගැනීම පිණිස ජලය, අයිස් කුට්ටි හෝ සහල් වැනි දෑ පුරවන නමුත් පෙරලුනු බෝට්ටුවේ නියමිත බර තිබී නැතැයි විශ්වාස කෙරෙන බවත් රත්න ශ්‍රී ගමගේ සඳහන් කළේය.

"මේ බෝට්ටුවේ තිබිල තියෙන්නේ දැල් විතරයි."

බෝට්ටුව පෙරලීමෙන් පසුව සමහරුන් දැල් අතර සිරවී සිටිය හැකි බව ප්‍රදේශවාසීන්ගේ විශ්වාසයයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව සෝදිසි මෙහෙයුම් සඳහා යොදවා තිබෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණි.