"ට්‍රම්ප් මොනවා හරි බීල ද?"

ඡායාරූප මූලාශ්‍රය, CARL BILDT/ Twitter
ස්වීඩනයේ හිටපු අගමැති කාර්ල් බිල්ඩ්ට් ගේ ට්විටර් පණිවුඩය
ස්වීඩනය ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වී යැයි පවසන්නට තරම්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "මොනවා හරි බීලා ද?" යනුවෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ස්වීඩනයේ හිටපු අගමැති කාර්ල් බිල්ඩ්ට් ප්‍රශ්න කළේය.
පසුගිය සෙනසුරාදා (පෙබ. 17) රැළියක් ඇමතූ ඩොනල්ඩ් ට්‍රුම්ප්, "බලන්න ඊයේ රාත්‍රියේ ස්වීඩනයේ සිදුවුනේ කුමක්ද කියා" යැයි පැවසුවේ යුරෝපයේ ත්‍රස්ත ප්‍රහාර එල්ලවූ ප්‍රදේශ පිළිබඳ ලැයිස්තුවකට ස්වීඩනය ද ඇතුළත් කරමිනි.
නමුත් සිකුරාදා ස්වීඩනයෙන් එවැනි කිසිදු සිදුවීමක් වාර්තා වී නොතිබූ බැවින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස ස්වීඩනය ඇමෙරිකානු රජයට දන්වා තිබිණි.
ඒ සම්බන්ධයෙන් වෙනම ප්‍රකාශයක් කළ ධවල මන්දිර ප්‍රකාශිකා සාරා හකබී සෝන්ඩර්ස්, ඉහළ යමින් පවතින අපරාධ සහ මෑතදී වූ සිදුවීම් පිළිබඳව ඔහු පොදුවේ කළ ප්‍රකාශයක් විනා යම් සුවිශේෂී සිදුවීමක් අරභයා කළ සඳහනක් නොවන බව කීවාය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් අවඥාවට ලක්කළ බොහෝ පිරිස අතරට ස්වීඩනයේ හිටපු අගමැතිවරයා ද එක්වුණේ, ඔහු "යමක් පානය කරලා" වෙන්නට ඇති යැයි ට්විටර් පණිවිඩයක් ඔස්සේ අඟවමිනි.
ඡායාරූප මූලාශ්‍රය, APTN
ජනාධිපති ට්‍රම්ප් ෆ්ලොරිඩා රැලියේදී
ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් අනතුරුව ඉතා විශාල පිරිසක් කරුණු විමසමින් ට්විටර් පණිවුඩ එවූ බව ස්වීඩනයේ ජාතික ට්විටර් ලිපිනයවන @Sweden භාරව කටයුතු කරන නිලධාරිනිය පවසයි.
"මම හැම පුවත්පතක්ම බැලුවා. හැම ගුවන් විදුලි නාලිකාවකටම සවන් දුන්නා. ඒක ඇත්තක් නෙවෙයි කියල මම තීරණය කළා," ඇය බීබීසී යට කියා සිටියාය.
ෆ්ලොරීඩාවේ මෙල්බර්න් නගරයේ සෙනසුරාදා පැවති පැවති දැවැන්ත රැළියේදී තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පළවන ප්‍රතිචාර පිළිබඳව ඉරිදා ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ජනාධිපති ට්‍රම්ප්, සංක්‍රමණිකයන් සහ ස්වීඩනය පිළිබඳව ෆොක්ස් නිවුස් නාලිකාවේ පළ වූ වාර්තාවක් ඇසුරින් තමන් එම ප්‍රකාශය කළ බව සඳහන් කර තිබිණි.
ෆොක්ස් නිවුස් නාලිකාවේ අදාළ වාර්තාවට ඇතුලත් වූයේ 2013 දී ස්වීඩනය දේශපාලන රැකවරණ පතන්නන් විශාල පිරිසකට රැකවරණ දීමෙන් අනතුරුව රටේ ස්ත්‍රී දූෂණ සහ 'තුවක්කු සංස්කෘතිය' ඉහළයාම පිළිබඳ විමසුමකි.
ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජනාධිපති ට්‍රම්ප් ගේ අධාරකරුවන් දහස් ගණනක් ෆ්ලොරිඩා රැලියට එක් වී සිටියහ
ෆොක්ස් නිවුස්, ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රියතම රූපවාහිනී නාලිකාවලින් එකකි.
ලක්ෂ අනූපහකට ආසන්න ජනගහනයක් සහිත ස්වීඩනය, මෑත වසර කිහිපය තුළ ලක්ෂ දෙකකට ආසන්න අනාථයන්ට සහ සංක්‍රමණිකයන්ට රැකවරණය සැලසීය.
2015 න් පසුව දේශපාලන රැකවරණ පතන්නන්ගේ ආගමනයේ විශාල වර්ධනයක් සිදුවුවත්, ස්වීඩනය සංක්‍රමණිකයන්ට දොරටු විවෘත කළ 2013 සිට මේ දක්වා එරට කිසිදු ත්‍රස්තවාදී ප්‍රහාරයක් වාර්තා වී නැත.