අපට අවශ්‍ය පිරිසිදු සන්ධානයක් - මහින්ද අමරවීර

අපට අවශ්‍ය පිරිසිදු සන්ධානයක් - අමරවීර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමේදී ජාතිවාදයෙන් තොර වංචා දූෂණවලට සම්බන්ධ නොමැති කණ්ඩායම් සමග සන්ධානගත වීම වැදගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අද (පෙබ.25) වව්නියාවේ මාමඩුව ධීවර ගම්මානයේ "වැවක් සමග ගමක්" වැඩසටහන දියත් කෙරුණ අතර ඇමතිවරයා ඉහත කී ප්‍රකාශය කළේ බීබීසි සිංහල සේවය විසින් කරන ලද විමසීමකදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් නොවන බවය.

"හුඟක් කට්ටිය ඉන්නවා එහෙම. ඡන්දෙට යන්න පක්ෂයක් ඕන, ඡන්දෙන් පස්සේ ස්වාධීන වෙන්න ඕන. අර මැක්කට බල්ලා නැතුව ගමනක් නැහැ වගේ ඡන්දයක් එනකොට පක්ෂයක් ඕන. එහෙම පක්ෂයේ ඡන්ද අරන් ඊට පස්සේ තනියෙන් හඬ නගන්න පටන් ගන්නවා" යනුවෙන් කී ඇමතිවරයා වීරවංශ මන්ත්‍රීවරයාගේ එම ඉලීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හෝ එහි බලතල කප්පාදු කිරීම පිළිබඳ තීන්දු කිරීමේ බලය පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව සතු බව කී ඇමතිවරයා යම් හෙයකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නම් ඒ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තරග කළ යුතු බවට රට තුළත් පක්ෂය තුළත් මතයක් පවතින බව වැඩිදුරටත් පැවසීය.

මේ අතර පසුගියදා බිහි වූ පොදුජන පෙරමුණත් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය තවත් පුළුල් කරමින් අනාගතයේ අලුත් සන්ධානයක් යටතේ දේශපාලන සටන් සඳහා සහභාගී වීමේ හැකියාව පිළිබඳ දැනට සාකච්ඡා කෙරෙමින් ඇතැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියි.