මීතොටමුල්ල: අතුරුදහන් වූ දියණිය සොයන පියෙක්

වීඩියෝ ශීර්ෂ වැකිය,

මීතොටමුල්ල: නාය යෑමට බිලි වූ දියණිය සොයන පියෙක්

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමත් සමග එයට යට වූ සිය දූ දරුවන්, දෙමාපියන් ඇතුළු නෑසියන් දැක ගැනීමේ අටියෙන් ඇතැමෙක් තවමත් සුන්බුන් අසල රැඳී සිටිති.

මේ වනවිට මරණයට පත් සංඛ්‍යාව විසි අට දක්වා ඉහළ ගොස් ඇති අතර නිල සංඛ්‍යා වාර්තාවලට අනුව අතුරුදහන්ව සිටින පිරිස තිහකි.

කුණු කන්ද ආසන්නයේ පදිංචිකරුවෙකු වන සිවකුමාර්ගේ බිරිඳ සහ එක් දරුවෙකුගේ මළ සිරුරු මේ වන විටත් භූමිදානය කොට අවසන්ය.

ඔහුගේ අනෙක් දියණිය තවමත් අතුරුදහන්ව සිටින අතර කුමන මොහොතක් හෝ ඇය දැකගැනීමට ලැබෙනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඔහු තවමත් එම ස්ථානයේ රැඳී සිටියි.

ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් විපතට පත් පවුල් සංඛ්‍යාව 228 කි. ඊට පුද්ගලයන් 980 දෙනෙක් අයත් වෙති.

පවුල් 228 ක්

අනතුරින් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර පවුල් 26 ක් ආරක්‍ෂිත මධ්‍යස්ථානයක රැඳී සිටිති.

තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින පවුල්වලට පුද්ගලයන් 129 දෙනෙකු අයත්ය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව නාය යෑමට හසුව පූර්ණ හානි සිදු වූ නිවාස ගණන 79 කි. තවත් නිවාස 17 කට අර්ධ හානි සිදු වී ඇත.

දේශපාලනඥයන්ට විරෝධය

යුද හමුදාව ඇතුළු සහන කණ්ඩායම් තවදුරටත් බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටිති.

මෘත දේහ සොයා ගනු ලැබූවන්ගේ අවසන් කටයුතු සිදු වෙමින් පවතින අතර එම ප්‍රදේශයට පැමිණීමෙන් වැළකී සිටින ලෙස කෝපයට පත් ප්‍රදේශවාසීහු දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිති.

කෙසේ නමුත් කුණු කන්ද නාය යාම හේතුවෙන් සිදු වූ ජීවිත හානියකට වන්දි වශයෙන් රුපියල් ලක්ෂයක් ලබා දෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

දේපළ හානි සඳහා රුපියල් ලක්ෂ විසි පහ දක්වා වූ වන්දියක් ගෙවීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.