හිටපු එල්ටීටීටී සාමාජිකයෝ ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂයට
පුනරුත්තාපනය කරන ලද හිටපු එල්ටීටීඊ (LTTE) සාමාජිකයන් සිය පක්ෂයට සම්බන්ධ කරගැනීමට තීරණය කළ බව ''ඉලංකෛ තමිල් අරසු කච්චි" (ITAK) පක්ෂය පවසයි.
ITAK හෙවත් ''ඉලංකෛ තමිල් අරසු කච්චි", දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකතත්වය දරන ප්‍රධානම දේශපාලන පක්ෂය ලෙස සැලකේ.
සෙනසුරාදා (අප්‍රේල් 29) මඩකලපුවේ පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම තීරණයට එළැඹුණු බව පක්ෂයේ ප්‍රකාශක, ජනාධිපති නීතිඥ එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.
හිටපු LTTE සාමාජිකයන්ගේ පුනරුත්තාපනය, ජීවනෝපාය සහ දේශපාලන ජීවිතය පිළිබඳව සලකා බලා පක්ෂය අදාළ තීරණයට එළැඹුණු බවත් ඔහු පැවසීය.
''පුනරුත්ත්පනය කරන ලද සටන්කාමීන් ගේ ජීවන තත්වය ඉහල නැංවිය යුතු අතර, සමාජයේ සාමාන්‍ය ජනකොටසක් ලෙසින් ඔවුනුත් නිසියාකාරව නඩත්තු කළ යුතුයි," ඔහු පැවසීය.
"නිසි කාලයේදී ඔවුන්ටත් දේශපාලන ජීවිතයට දොරටු විවෘත කළ යුතුය'' යනුවෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.
2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සමග එක්ව තරග කිරීමට පුනරුත්තාපනය කරන ලද හිටපු එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් සාකච්ඡා පැවැත්වූ නමුත් එම සාකච්ඡා සාර්ථක නොවීය.
- "භාර වූ එල්ටීටීඊ සාමාජික ලැයිස්තුව ඉදිරිපත් කරන්න"
- 'එල්ටීටීඊ ප්‍රබලයන් ආරක්ෂක බලධාරීන්ට මුදල් ගෙවලා'
- අතුරුදහන් ධීවරයෝ: එල්ටීටීඊ නායකයන්ට 'දඬුවම් කරන්න'
- හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට සමාජගත වීමේ අභියෝගයක්
ඉන් අනතුරුව එම කණ්ඩායම ස්වාධීන කණ්ඩායමක ලෙසින් මහ මැතිවරණයට තරග කළ නමුත්, පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ඒ කිසිවෙකුත් සමත් නොවීය.
යුද්ධය හේතුවෙන් දිගු කලක් අවතැන්ව සිටින ජනතාව පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය මට්ටමේ උප කමිටුවක් පත් කර තිබෙන නමුත් එම කමිටු හමුවේ අදහස් දැක්වීමට දෙමළ ජනතාව මැලිකමක් දක්වන හැඩක් පෙනෙනෙනට තිබෙන බවද ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂය පවසයි.
ඒ සම්බන්ධව අගමැතිවරයාගේ සෘජු අවධානයට යොමු කළ යුතුය යන්න මධ්‍යම කාරක සභාවේ තවත් තීන්දුවකි.
''දීර්ඝ කාලයක් අවතැන්ව සිටින අය සම්බන්ධයෙන් සොයා බලන කමිටුවල ක්‍රියාකාරකම් එක් ජනවර්ගයකට පමණක් සීමා නොවී, නියමිත දිනයට පෙර අවතැන් වූ සියලු දෙනා ගැනම කටයුතු කළ යුතුයි," යනුවෙන්ද සුමන්දිරන් මන්ත්‍රීවරයා පැවසීය.
දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා, ඉලංකෛ තමිලරසු කට්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා සහ පක්ෂයේ ලේකම් කේ තුරෙයිරාජසිංහම් ඇතුළු මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෝ රැස්වීමට සහභාගි වූහ.