'කේපාපිලවු'ඉඩම් ආපසු දෙන්න-විපක්ෂ නායක ඉල්ලීමක්

යුද සමයේ හමුදාවට පවරා ගත් සිය ඉඩම් ආපසු දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිති
ඡායාරූප ශීර්ෂ වැකිය,

යුද සමයේ හමුදාවට පවරා ගත් සිය ඉඩම් ආපසු දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිති

යුද සමයේ හමුදා අවශ්‍යතාව අනුව පවරා ගනු ලැබුණ 'කේපාපිලවු' ඉඩම් එම ඉඩම්වල හිමිකරුවන් වන සාමාන්‍ය ජනතාවට යළි භාරදීමට පියවර ගන්නා මෙන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ඉඩම් අහිමිවීම නිසා දැඩි දුෂ්කර තත්වයකට පත්ව සිටින 'කේපාපිලවු' ජනතාව යුද්ධයට පෙර සහ පසුව ඉතා දීර්ඝ කාලයක් දැඩි පීඩාවට පත් ජන කොටසක් වන බව විපක්ෂනායක ආර්.සම්බන්ධන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කරන ලද ලිපියේ දැක්වෙයි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවයි සේනාධිරාජා සහ තමා පසුගිය මැයි 18 වෙනි දින අදාළ 'කේපාපිලවු' ඉඩම් පිහිටි භූමිය වෙත ගිය බව පවසන විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, ඔවුන් එම පළාතේ යුද හමුදා අණදෙන නිලධාරියා සමඟ ඉඩම් ජනතාවට ආපසු පැවරීම පිළිබඳව සාකච්ඡා කළ බවත්, දැනට යුද හමුදා භාරයේ පිහිටි ඉඩම් අදියරින් අදියර ඒවායේ හිමිකරුවන්ට ආපසු පැවරිය හැකි අතර අක්කර හැත්තෑවයි රූඩ් දෙකක ඉඩම් ප්‍රමාණයක් පමණක් එසේ පැවරීමේ දුෂ්කර තත්වයක් පවතින බව එම අණදෙන නිලධාරියා ඔවුන්ට ප්‍රකාශ කළ බවත් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් කරයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

කේපාපිලවු අවතැන් ජනතාව

එහෙත් තමා කොළඹදී එවකට හමුදාපති ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී එම අක්කර හැත්තෑවයි රූඩ් දෙකක් පමණ වූ ඉඩම් ප්‍රමාණයත් මහජනතාවට භාරදිය හැකිබව ජනරාල්වරයා සඳහන් කළ බවත් විපක්ෂ නායකයා පවසයි.

'කේපාපිලවු' ප්‍රදේශයේ යුද හමුදාවට පවරා ගනු ලැබ ඇති සියලු ඉඩම් ජූලි මාසයේ අවසානය වනවිට ආපසු මහජනයාට පැවරීමට කටයුතු කරමින් සිටින බව ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා තමාට දැනුම් දුන් බවත් විපක්ෂ නායකයාගේ ලිපියේ දැක්වෙයි.

"ගරු ජනාධිපතිතුමනි! ඔබතුමා දැනුවත් පරිදි 'කේපාපිලවු' අවතැන් ජනතාව යුද හමුදාව විසින් පවරා ගනු ලැබ ඇති භූමි භාගයට පිවිසෙන දොරටුව අසළ දවස් හතළිස් එකක විරෝධතා ව්‍යාපාරයක නිරත වෙමින් සිටියා. එම ඉඩම් ආපසු පවරා නොදුන්නොත් ඔවුන්ට පදිංචියට තැනක් නැතිවෙන අතරම සිය ජීවිකා වෘත්තිය යළි ආරම්භ කිරීමට නොහැකි වන බව එම ජනතාව පවසනවා. සිය ඉඩම් අහිමි වීමෙන් එම ජනතාව දීර්ඝ කාලයක් පීඩා විඳිමින් සිටිනවා" විපක්ෂ නායක ආර් සම්බන්ධන් ජනාධිපතිවරයාට කියා සිටියි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

සිය ඉඩම් ආපසු දෙන බවට ලද පොරොන්දු නිසා සතුටට පත් කේපාපිලවු ජනතාව

ඒ අතරවාරයේ පසුගිය ජූනි 23 වෙනිදින තමා ජනාධිපතිවරයා හමුවී කේපාපිලවු ඉඩම් මුදා හැරීම පිළිබඳව සාකච්ඡා කළ බව සිහිපත් කරන විපක්ෂ නායකයා ඉහත සඳහන් කළ අක්කර හැත්තෑව සහ රූඩ් දෙකක් වන ඉඩම් ප්‍රමාණයත් ඇතුළුව සියළු ඉඩම් ජනතාවට පැවරීම සහතික කරන ලෙස සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.