'සුරක්ෂා' නිවසින් යළි කටුනායකට

ආපසු පැමිණි කාන්තාවන් ගුවන් තොටුපොළේදී
ඡායාරූප ශීර්ෂ වැකිය,

ආපසු පැමිණි කාන්තාවන් ගුවන් තොටුපොළේදී

ගෘහ සේවිකා වෘත්තිය සඳහා කුවේටයට ගොස් සිටියදී විවිධ හේතූන් නිසා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණ ලබා සිටි කාන්තාවන් පනස් එක් දෙනෙක් අද ( ජූලි 25) ආපසු දිවයිනට පැමිණි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පවත්වා ගෙන යනු ලබන 'සුරක්ෂා' නිවසේ ලාංකික කාන්තාවන් 193 දෙනෙක් රැකවරණ ලබමින් සිටි අතර ඔවුන්ගෙන් පනස් එක් දෙනකු ආපසු ගෙන්වා ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක දැක්වෙයි.

එහි සිටින ඉතිරි කාන්තාවන් සියලු දෙනාත් ඉදිරි කාලය ඇතුළත ආපසු ගෙන්වා ගන්නා බව විදේශ නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශකයෙක් බීබීසියට ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් පළමු කණ්ඩායමට අයත් කාන්තාවන් වව්නියාව, යාපනය, ත්‍රිකුණාමලය, අම්පාර, කුරුණෑගල, අනුරාධපුරය, සහ මහනුවර යන දිස්ත්‍රික්ක වල පදිංචිකාරියන් වන බවත් ඔවුන්ට සිය නිවෙස් කරා යාමට අවශ්‍ය වියදම් සපයන ලද බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිවේදනයේ දැක්වෙයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ආපසු රටට ඇතුල් වීමට අවශ්‍ය බලපත් සකසමින්

එකී නිවේදනයට අනුව ඉහත කී 'සුරක්ෂා' නිවසේ රැකවරණ ලබන කාන්තාවන් ගිවිසුම්ගත සේවා කාලය ඉක්මවා සේවයේ යෙදීම, වැටුප් නොලැබීම, හිරිහැර සහ රෝගාබාධවලට ගොදුරු වීම ආදී විවිධ ප්‍රශ්නවලට මුහුණ දුන් අය වෙති.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරන ආකාරයට පිටරට රැකියා සඳහා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 7723 දෙනෙක් මේවනවිට ආපසු ගෙන්වා ගනු ලැබ ඇත.

ඔවුන්ගෙන් 2374 දෙනෙක් 2015 වසරේ ද ,තවත් 4989 ක් 2016 වසරේ ද ආපසු ගෙන්වා ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

2016 වසරේ ආපසු ගෙන්වා ගත් විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් 2190 ක්ම කටාරයේ රැකියා සඳහා පිටත්ව ගිය අය වෙති.

ඡායාරූප ශීර්ෂ වැකිය,

අද (ජූලි 25) පැමිණි කණ්ඩායම 51 දෙනෙකි

ඒ අතරම කුවේටයෙන් 1669 දෙනෙක් ද සෞදි අරාබියෙන් 734 දෙනෙක් ද ආපසු ගෙන්වා ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටියි.