"අලි පැටව් හක්කපටස් කන්නේ ළමා ගතිය නිසා"

  • 2017 අගෝස්තු 20
Image caption තුවාල ලබා සිටි අලි පැටවා

අතට හසු වන ඕනෑම දෙයක් කටට දමා ගැනීමේ බිලිඳු පුරුද්ද මිනිස් දරුවන් තුළ මෙන්ම සත්ව ලෝකයේ අලි පැටවුන්ට ද පොදු බව පශු වෛද්‍යවරු පවසති.

හක්ක පටස්වල භයානක බව නොදන්නා අලි දරුවෝ ඒවා කටට ගන්නේ එම බිලිඳු ගතිය නිසාවෙනි.

හක්ක පටස් කෑම නිසා තුවාල ලබා සිටි අලි පැටවෙකු අගෝස්තු 07 වෙනිදා හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිට හමු විය.

ප්‍රතිකාර සඳහා එහි ගිය පශු වෛද්‍යවරුන් කියා සිටියේ අලි පැටවාගේ මුඛයට බරපතළ ලෙස හානි සිදුව ඇති බවය.

වැඩිදුර ප්‍රතිකාර සඳහා අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙන ඒමට කටයුතු යොදන්නේ ඒ අනුවය.

එසේ රැගෙන ආ අලි පැටවා අපසුගිය 12 වෙනිදා උදෑසන මිය ගිය බව වනජීවී නිලධාරීහු පැවසූහ.

වනජීවී පශු වෛද්‍ය නිලධාරී සංගමයේ පශු වෛද්‍ය විජිත පෙරේරා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අලි පැටවාගේ මුඛයේ තිබූ තුවාලය ආසාදනය වී මොළය ආසන්නය දක්වා පැතිර ගොස් තිබූ බවය.

"සෙල්ලමට කටේ දාගන්නවා"

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
හම්බන්තොට වරාය පරිශ්‍රයෙන් හමු වූ අලි පැටවාගේ තත්ත්වය 'බරපතළයි'

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සද්දන්ත කුලේ තවත් අසරණයෙකු මෙලොව හැර ගියේය.

පශු වෛද්‍ය විජිත පෙරේරා පවසන පරිදි වෙඩි තැබීම හැරුණු කොට වැඩි වශයෙන්ම අලි මිය යන්නේ හක්ක පටස් කෑමෙනි.

විශේෂයෙන් අලි පැටවුන් හක්ක පටස්වලට ගොදුරු වීමේ අවදානම ඉහළ බව ඔහු කියා සිටියේය.

අලි පැටවුන් කුතුහලය නිසා හක්ක පටස් මුඛයට ගන්නා බව කී පශු වෛද්‍යවරයා "ඒ ගොල්ලෝ පොඩි දෙයක් හම්බවුනත් සෙල්ලමට කටේ දාගන්නවා. ඇත් අතුරු සෙවනේ ඉන්න පැටවුන්ටත් බෝතල් මූඩියක් හම්බවුනත් විකලා බලලා එළියට දාන්නේ" යනුවෙන් සඳහන් කළේය.

"හක්කපටස් කියන්නෙත් පුපුරන උපකරණයක්. කුතුහලේ නිසා හක්කට තියලා විකනවා. එතකොට තමයි පුපුරන්නේ"

මසට සතුන් දඩයම් කිරීම අටවා සඳහා තබන හක්ක පටස්වලට ගොදුරු වී වැඩි වශයෙන්ම මිය යන්නේ වල් ඌරන් බව කී පශු වෛද්‍ය විජිත පෙරේරා ඇතැම් විට සුනඛයන් ද හක්ක පටස් කෑමෙන් මරණයට පත් අවස්ථා වාර්තා වී ඇති බව පවසයි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර