මොකක්ද මේ 'පරවි දූපත' ?

  • 2017 අගෝස්තු 17
asdjfa

නිලාවලි වෙරළ තීරයේ සිට කිලෝ මීටර් දෙකක් ඔබ්බෙන් පිහිටි "පරවි දූපත සමුද්‍ර ජාතික උද්‍යානය" සංචාරක අකර්ශණය දිනා ගත් ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයකි. සාමාන්‍ය ජනතාව පරවි දූපත යනුවෙන් හදුන්වන්නේ එහි පිහිටි ගල් කුළු වලින් ගහණ නැගෙනහිර සහ බටහිර දෙපස පමණක් පටු වෙරළක් සහිත අක්කර පහක පමණ භූමියකින් යුතු කුඩා දූපතකි .

මෙම ගල් පර ඉතාම ලිස්සන සුළුය. ගොඩ බිමේ පාවහන් නොමැතිව ඇවිදීම අනතුරුදායකවන්නේ සෑම තැනම විසිරී ඇති ඉතා සියුම් බෙලි කටු වලට දෙපා කැපීමේ අවදානම හේතුවෙනි. සංචාරකයන් වෙරළේ සිට බෝට්ටු මගින් මුලින්ම පැමිණෙන්නේ මෙම ගොඩ බිමටය.

මෙය දෙමළ බසින් "පෙරිය පුරා මලේ" (ලොකු පරවි කන්ද) නමින් හැදීන්වේ. ප්‍රමාණයෙන් කුඩා මෙවැනිම තවත් දූපතක් තරමක් ඈතින් දකින්ට ඇති අතර එය හැඳින්වෙන්නේ "සින්න පුරා මලේ" නමිනි. සින්න පුරා මලේ අවට මුහුද තරමක් ගැඹුරුය. වෙරළකින් තොරය. ඒ නිසා සංචාරකයෝ එහි යාමට කැමත්තක් නොදක්වති.

පරවි දූපත 1963 දී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර 2003 දී 1291/15 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් සාමාන්‍ය ජනතාවට පැමිණිය හැකි සමුද්‍ර උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. වනජීවී දෙපාර්තමේන්තුව පරවි දූපත සමුද්‍ර ජාතික උද්‍යානය ලෙස හදුන්වන්නේ ඉහත සඳහන් කෙරුණු කුඩා දූපත් දෙක පමණක් නොව මුහුදේ තැනින් තැන ඇති ගල් පර, කොරල් ජීවීන් හා දුලබ මසුන් ගහණ හෙක්ටයාර් 417.429 ක් පුරා පැතිරුණු මුළු පරිසර පද්ධතියමය.

පරවි දූපත ජාතික සමුද්‍ර උද්‍යානය වඩාත් වැදගත් වන්නේ එය දුර්ලභ ගණයේ ජෛව විවිධත්යෙන් යුතු කොරල් පර සහ නානා මත්ස්‍ය විශේෂයන්ගෙන් ගහණ මුහුදු කළාපයක් වීමත්, ROCK PIGEON නම් පරවි විශේෂය කැදැලි සාදන ගල් කුළු වලින් යුක්ත වීමත් නිසා බව ත්‍රීකුණාමල වනජීවී සහකාර අධ්‍යක්ෂ ආචාර්ය ලලිත් කුමාර කියයි.

"එවැනි කොරල් වර්ග සියයක් පමණ සහ මත්ස්‍ය වර්ග එකසිය ඇත්තෑ අටක් පමණ දැනට හඳුනා ගෙන තියෙනවා" යැයි ආචාර්ය ලලිත් කුමාර පැවසීය.

සංචාරකයින්ගේ පැමිණීම

නොගැඹුරු මුහුදේ සුන්දරත්වය නැරඹීමට පහසුකම් සළසනු ලබන්නේ සීමාසහිත නිලාවලි සංචාරක යාත්‍රා හා සේවා සමුකාර සමිතිය මගිනි.

"කුඩා යාන්ත්‍රික බෝට්ටු තිස් තුනක් අපේ සමිතිය සතුව තියෙනවා සිංහල දෙමළ මුස්ලිම් සහෝදරයන් සමානව සාමාජිකත්වය දරනවා. ප්‍රවාහන පහසුකම් හා අවශ්‍ය උපකරණ සමිතියෙන් සපයනවා. වසරේ ජූලි මාසයේ සිට සප්තැම්බර් මාසය දක්වා කාලය තුළ තමයි විදේශීය සංචාරකයන් පැමිණෙන්නේ. සති අන්ත සහ පාසල් නිවාඩු කාලවලදී දේශීය සංචාරකයන් පැමිණෙනවා. අපේ අය කිරීම් හැමෝටම එක සමානයි. සැප්තැම්බර්-පෙබරිවාරි කාලය තුළ වාරකන් නිසා පරවි දූපත පාළුවට යනවා. පිට පළාත්වලින් පැමීණෙන පිරිසක් තමයි ගැඹුරු මුහුදේ කිමිදුම් කටයුතුවලට සහය වෙන්නේ. ඒකට ලොකු වියදමක් දරන්න සිදුවෙනවා. ගැඹුරු මුහුදේ කිමිදී සමුද්‍ර අසිරිය නරඹන අති බහුතරයක් විදේශිකයන් වීම ද විශේෂයි. කිසිම සංචාරකයෙකුට මේ දක්වා අනතුරක් වෙලා නෑ" සමිතියේ සභාපති එස්. එම්. සජිත් ඛාන් විස්තර කළේය.

සංචාරකයන් ප්‍රවාහනය කරන යාන්ත්‍රික බෝට්ටුවක් පදවන එම්. අයි. ඒ. කරීම්ගේ දැන් වයස අවුරුදු හැට පහකි. තමා මුළින්ම පරවි දූපතට ගියේ එක්දහස් නවසිය හැත්තෑ හතේ අවුරුද්දේ බව ඔහු කීය.

"අපි අදටත් පරවි දූපත ( පුරා මලේ) කියන්නේ ඔය පෙනෙන ගල් ගොඩලි සහිත දූපතටයි. පොඩි පරවි දූපත (සින්න පුරා මලේ) අපට කොහෙත් ම වැදගත් නෑ. ඒ දවස්වල නම් වෙරළේ ඉදන් පීනලත් යනවා. පුහු පොල් ගෙඩි දෙකක් දෑතට ගත්තම පීනනවා දැනෙන්නෙත් නෑ ."

Image caption "මම ඉස්සෙල්ලම පරවි දූපතට ආවේ 1977 දී"

"කොල්ලෝ රංචු පිටින් යනවා. මුලු දවසෙම දූපතේ නතර වෙලා මාළු, මට්ටි (කුඩා මුහුදු බෙල්ලන්) අල්ලගෙන පුච්චලා කනවා හරිම විනෝදයි. අපි ඒ කාලේ කාල දාපු බෙල්ලන්ගේ කටු නිසා තමයි අද පරවි දූපතේ සපත්තු නැතුව ඇවිදින්න බැරි වෙලා තිනේනේ. බෙලි කටු කුඩු‍ වෙලා වීදුරු කුඩු වගේ හැම තැනම පැතිරිලා ගිහින්"

"වනජීවි දෙපාර්තමේතුවට පවරා ගන්න කළින් පවා අපි සුදු නෝනලා මහත්තුරු අපේ ඔරු වලට ගොඩ කරගෙන පරවි දූපතට යනවා. එදා එක් අයෙකුගෙන් අය කළේ රුපියල් විසි පහයි. හය දෙනෙක් එක ඔරුවක යනවා. අද එක ගමන් වාරයකට රුපියල් දෙදහක් අය කරනවා" කරීම් එසේ සිය අත් දැකීම් විස්තර කළේය.

සුනාමියේ බලපෑම් නිසා පරවි දූපතේ විශාල ගස් ගැළවී ගිය බව ද ඔහු කීය.

පරවි දූපත තුල පරිසර නීති ඉතා තදින්ම ක්‍රියාත්මක වෙයි. පොලිතින්, ප්ලාස්ටික් භාජන පමණක් නොව කඩදාසි කැබල්ලක් හෝ තැන තැන දැමීම තහනම්ය. සියල්ල ආපසු රැගෙන ආ යුතුය. දූපතේ රාජකාරියේ නිරත වනජීවී හා පොලිස් නිලධාරීහු ඒ පිළිබඳව ඉතා විපරමෙන් සිටිති.

"දූපතට එන විදේශීය සංචාරකයන් ඉතාමත්ම විනීතව හැසිරෙනවා. ඒ අය කුඩා දරුවන් සමඟ මුහුදේ මතුපිට පිහිනමින් කොරල් සහ මසුන් නරඹනවා නමුත් අපේ අය එන්නේ බිම වාඩි වෙලා කෑම කන්න බලාගෙන. පරිසර සංවේදී බවක් අපේ බොහෝ දෙනෙකුට නෑ." බී බී සී සිංහල සේවයට එසේ පැවසුවේ දූපතේ රාජකාරියේ නිරත වනජීවී නිලධාරියෙකි.

"ත්‍රීකුණාමල බස් නැවතුම්පොළේ තේ කඩයක් පවත්වාගෙන 'ලාල් අයියා' පවසන්නේ තමා යුද්ධය උස්සන්න වෙනතුරුම පරවි දූපත නිසා හොඳ ආදායමක් ලැබූ බවය.

"ඒ දවස්වල මගේ රස්සාව ගල්මල් (කොරල්) වෙළෙඳාම. මුහුදේ කිමිදිලා අලවන්ගුවෙන් ගල් මල් කඩනවා. ගෙදර ගෙනල්ල උණු වතුරෙන් තම්බලා වේලලා පාට කරලා ටවුන් එකේ තියා ගෙන විකුණනවා. හැබැයි දැන් ඒ සෙල්ලම් බෑ. නීතිය බොහොම තදයි. කොහොමත් මට අද තේරෙනවා එදා කළ වැඩේ වැරදියි කියලා" ඔහු පසුතැවිල්ලෙන් මෙන් පැවසීය.

වගකීම් විරහිතබව

කෙසේවෙතත්, සංචාරකයින් අධික ලෙස පැමිණීම පරවි දුපතට හානිදායක බව ඇතැම් පරිසරවේදීහු පවසති.

ඇතැමුන්ගේ වගකීම් විරහිත ක්‍රියා මීට හේතුවී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ පරවී දූපත අවට ඉතා අනර්ඝ කොරල් පරයක් පිහිටා ඇති බවය. ඊට අමතරව පරිවි දූපත ආශ්‍රිතව වෙසෙන 'ගල් පරවියා' (ROCK PIGEON) නම් වූ පරවී විශේෂය බරපතල ලෙස වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව පරවි දූපත ආශ්‍රිත පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම අතිශයින් ම වැදගත් වන බව නීතිඥ ජගත් ගුණවර්ධන පෙන්වා දුන්නේය.

අසිරිමත් පරවි දුපතට යාමට මේ දිනවල විශාල පිරිසක් නිලාවලී වෙරළට පැමිණෙති. වනජීවී දෙපාර්තමේන්තුව, සංචාරක සේවා සමුකාර සමිතිය සහ කිමිදුම් ආයතන ද එයින් ආදායම් උපයති. එහෙත් සංචාරකයන් සදහා අවශ්‍ය පහසුකම් සහිත විවේකාගාරයක් නිලාවලි වෙරළේ නොමැතිවීම අඩුවක් බව ප්‍රාදේශීය වාර්තාකරුවෝ පෙන්වා දෙති.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර