හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස

අමාත්‍ය රාජිත සේනාරත්න සහ අමාත්‍ය විජයදාස රාජපක්ෂ
Image caption අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගෙන් අමාත්‍ය රාජිත සේනාරත්නට දැඩි වාග් ප්‍රහාරයක්

හම්බන්තොට වරාය චීනයට බදු දීමේ කැබිනට් තීන්දුව දැඩි විවේචනයට ලක්කරමින් කරන ලද ප්‍රකාශයක් මගින් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම උල්ලංඝනය කරන ලද බවට අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය ආණ්ඩුවේම මැති ඇමතිවරුන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

එමෙන්ම මහින්ද රාජපක්ෂ පරිපාලනයට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ, වංචා චෝදනා පිළිබඳව ක්‍රියාත්මකවන පරීක්ෂණවලට අදාළ නඩු විභාග කඩිනම් වීම වැළැක්වීමට කටයුතු කරන්නේය යන්න සිය පක්ෂය තුළින්ම ඔහුට එල්ලවන තවත් චෝදනාවකි.

ආණ්ඩුවේ සිටියත් අමාත්‍යවරයා මේවන විට රාජපක්ෂ කඳවුර සමග එක්ව සිටින බව පවසමින් ඔහු 'ද්‍රෝහියෙකු' බවට අමාත්‍ය සරත් ෆොන්සේකා ද පසුගියදා චෝදනා කර තිබුණි.

තමා අධිකරණ අමාත්‍ය පදවිය හොබවන තුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව ද අධිකරණ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ අවධාරණය කර තිබේ.

සබැඳි යොමු:

රාජපක්ෂ පාලනය සමයේ වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් පිරිසක් ඝාතනය කරනු ලැබීම සම්බන්ධ පරීක්ෂණ වාර්තාව යටපත් කරගෙන සිටින බව අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී තිබෙන තවත් බරපතල චෝදනාවකි.

මේ තත්වය යටතේ තමන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය.

Image caption ඇමතිවරයා කිහිප වතාවක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසංශාවට ලක් කළේය

මන්ත්‍රීවරුන් එල්ල කරන විවේචන පිළිබඳව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා සාකච්ඡා කරන ලද අතර එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳව විවිධ මාධ්‍ය වාර්තා පළවේ.

අමාත්‍යවරයා පදවියෙන් ඉල්ලා අස්විය යුතු යයි එහිදී තීන්දු කෙරුණ බව පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තාකර තිබුණි.

අමාත්‍යවරයා අනිවාර්යයෙන්ම පදවියෙන් ඉල්ලා අස්විය යුතු බව මේ අතර බීබීසී සිංහල සේවය සමග අවධාරණය කළ එජාප මන්ත්‍රී එස්එම් මරික්කාර්, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ තීන්දුව පරිදි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ලබන සදුඳා රැස්වී ඒ සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් ගැනීමට නියමිත බවත් සඳහන් කළේය.

"කාලෙන් කාලේ බලාපොරොත්තු එනකොට, දේශපාලනයේ හීන මැවෙන කොට" දේශපාලනඥයන් "විවිධ විවිධ දේවලට යොමුවෙන" බවත් මරික්කාර් මන්ත්‍රීවරයා සජීව ෆේස්බුක් සාකච්ඡාවකට එක්වෙමින් බීබීසී සිංහල සේවයට පැවසීය.

කෙසේ නමුත් පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු අදහසක් නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

Image caption අමාත්‍ය රාජිත සේනාරත්න, අධිකරණ ඇමතිවරයා මෙන්ම රාජපක්ෂ සහෝදරයන් ද දැඩි විවේචනයට ලක් කරන්නෙකි

තමන්ට එල්ල වෙන මේ චෝදනා පිළිබඳව ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ සෙනසුරාදා (අගෝස්තු 19) සිය ප්‍රතිචාරය පළ කළේය.

ඒ රඹෑව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදීය.

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එහිදී අධිකරණ අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

ඩෙංගු වසංගතය, රජරට ජනතාව පෙලන වකුගඩු රෝගය වැනි රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැටලුවලට පිළියම් යොදනු වෙනුවට සෞඛ්‍ය ඇමතිවරයා "පළිගනිමින් සිටින" බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ එහිදී සඳහන් කළේය.

'ගෝත්‍රිකයෝ කොච්චර හොඳද?'

පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සහ ඉන් අනතුරුව කිහප වතාවක්ම රාජිත සේනාරත්න අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කර තිබුණි.

"දැන් එතුම තමයි නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරන්න හදන්නේ. එතුමා තමයි අද අධිකරණය පාලනය කරන්න හදන්නේ. ඉතින් කොහෙද සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ කොරන්න වෙලාවක් තියෙනවයි," අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට සහ බුද්ධ ශාසනයට සිදු වූ "හිරිහැර සහ අසාධාරණ" සම්බන්ධයෙන් අදහස් පළකරන විට "ජාතිවාදීන්" සහ "ගෝත්‍රිකයන්" ලෙසින් විවේචන එල්ල කරන බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වැනි ජාතික සම්පත් රැකගැනීමේ අවශ්‍යතාව පෙන්වාදෙන විට ද එවැනිම චෝදනාවලට ලක්වීමට සිදුවෙන බවය.

Image caption "කාලෙන් කාලේ බලාපොරොත්තු එනකොට, දේශපාලනයේ හීන මැවෙන කොට දේශපාලනඥයන් විවිධ විවිධ දේවලට යොමුවෙනවා"

"අපේ රටේ තිබුණු රුදුරු ත්‍රස්තවාදය අවසන් කරපු අපේ රණවිරුවෝ ටික ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ දාල පෝරකයට ගෙනයන්න දෙන්නේ නෑ කියල කියන කොට අධිකරණ ඇමති ගෝත්‍රිකය," අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.

'හැඟීමක් නැති පාලකයෝ'

"අධිකරණය ස්වාධීනව කටයුතු කරන්න ඕනයි කියන ස්ථාවරය ගන්න කොට, ඒකට දේශපාලන ඇගිලි ගැසීම් කරන්න එපයි කියන කොට අධිකරණ ඇමති ගෝත්‍රිකයා."

"අධිරාජ්‍යවාදී වහල්ලු විදියට දීන මානසිකත්වයෙන් ගොඩ එන්න බැරිව ඉන්න නිවට දේශපාලනඥයන්," ලෙසින් ඔහු විග්‍රහ කළ පිරිසක් ද එහිදී අධිකරණ ඇමතිවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

"එහෙම හැඟීමක් නැති පාලකයෝ රට භාරගත්තම රට කාබාසිනියා වෙනවා."

Image caption හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ආරක්ෂා කරන බවට අධිකරණ ඇමතිවරයාට චෝදනා

සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත විවේචන එල්ල කළ නමුත් සිය ප්‍රකාශය ඇතුළත ඇමතිවරයා කිහිප වතාවක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසංශාවට ලක් කළේය.

ජනපතිට ප්‍රශංසා

මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස් ඇතුළු සිවිල් සමාජය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවා අනුමත කිරීමට ඉඩ තිබෙන බව ද විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පසුගියදා බීබීසී සිංහල කළ විමසීමකදී සඳහන් කළේය.

විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අදාළ අමාත්‍ය පදවි සඳහා නිර්දේශ කරනු ලැබුවේ සහ රටේ ප්‍රධානම පදවි සම්බන්ධ තීන්දු ගන්නා ව්‍යවස්ථා සභාවේ සිය නියෝජිතයා වශයෙන් පත්කරනු ලැබුවේත් අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි.

Image caption "හැඟීමක් නැති පාලකයෝ රට භාරගත්තම රට කාබාසිනියා වෙනවා"

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී එජාප මන්ත්‍රී එස්එම් මරික්කාර් සඳහන් කළේ අධිකරණ ඇමතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එදා දැරූ ස්ථාවරය මේ මොහොතේ වෙනස් වී තිබිය හැකි බවය.

සෙනසුරාදා සිය අදහස් දැක්වීම අතරතුර දිගින් දිගටම ජනාධිපතිවරයා ප්‍රසංශාවට ලක් කළ නමුත්, අධිකරණ අමාත්‍යවරයා අගමැතිවරයා සම්බන්ධයෙන් නමින් කිසිදු සඳහනක් නොකළේය.

අධිකරණ සහ බුද්ධ ශාසන ඇමතිවරයාට එරෙහිව එල්ලවන චෝදනා පිළිබඳව ඔවුන් දෙදෙනාම මෙතෙක් කිසිවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට නැත.

තවත් සබැඳි යොමු: