අධිකරණ ඇමතිනි තලතා, බුද්ධ ශාසන ඇමති ගාමිණී ජයවික්‍රම

  • 2017 අගෝස්තු 25
Image copyright pmdnews.lk

නව අධිකරණ අමාත්‍යවරිය ලෙස තලතා අතුකෝරල සහ නව බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිව්රුම් දුන්හ.

ජනාධිපති නිල නිවසේ දී අද (අගෝස්තු 25) දිවුරුම්දීම් සිදු කෙරුණු අතර එම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ ද සහභාගී විය.

ඒ අනුව තලතා අතුකෝරලට විදේශ රැකියා අමාත්‍ය ධුරයට අමතරව අධිකරණ අමාත්‍ය ධුරය ද හිමිවන අතර වනජීවී කටයුතු පිළිබඳ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා බුද්ධ ශාසන අමාත්‍යංශය භාරව ද කටයුතු කරනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මීට පෙර අධිකරණ සහ බුද්ධ ශාසන කටයුතු අමාත්‍යංශය භාරව කටයුතු කළ අතර පසුගිය 23 වෙනිදා ඔහු එම ධුරයෙන් ඉවත් කෙරිණි.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබීම මගින් කැබිනට් සාමූහික වගකීම උල්ලංඝනය කර ඇති බවට මන්ත්‍රී විජේදාස රාජපක්ෂට ආණ්ඩු පක්ෂයෙන් චෝදනා එල්ල විය.

Image copyright pmdnews.lk

හම්බන්තොට වරාය 99 අවුරුද්දක් සඳහා චීනයට බදු දෙනු ලැබීම හිටපු අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව තුළදී මෙන්ම මාධ්‍ය සාකච්ඡා මගින්ද දැඩි විවේචනයට ලක් කළේය.

ඒ අතරම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ට එරෙහි නඩු ප්‍රමාද කරන බවටත් හිටපු අධිකරණ ඇමතිවරයාට එරෙහිව ආණ්ඩු පක්ෂය චෝදනා කරයි.

අධිකරණයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය "කුණු කුඩයට දමා" විරුද්ධ පක්ෂ පාර්ශ්වයේ නඩු පමණක් කඩිනම් කරන ලෙසට ඉල්ලීම් කිරීම තමන් ප්‍රතික්ෂේප කරන බව හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කර තිබුණේ නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරමිනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර