ගබ්සාව සම්බන්ධ නීති ලිහිල් කළ යුතුද?

  • 2017 සැප්තැම්බර් 8

ගබ්සාව සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් කළ යුතු බවට සංවාදයක් දැන් රට තුළ ඇතිවී තිබේ. කෙසේ නමුත් ආගමික නායකයන්ගෙන් ඊට එල්ල වන්නේ දැඩි විරෝධයකි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීතිය ඉතා දැඩිය. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය අනුව ගබ්සාවක් කළ හැක්කේ කළලයෙන් මවගේ ජිවිතයට හානියක් වන අවස්ථාවකදී පමණි.

මෙම නීතිය ලිහිල් කරන ලෙස වෛද්‍යවරුන්ගෙන් හා කාන්තා සංවිධානවලින් වසර ගණනාවක් තිස්සේ විවිධ ඉල්ලීම් ලැබුණු නමුත් ඒ සැම අවස්ථාවකම ආගමික නායකයන්ගේ විරෝධය හේතුවෙන් එම ඉල්ලීම් කිසිදු රජයක් ක්‍රියාත්මක කළේ නොමැත.

දැන් මෙවර කතාබහට ලක්ව තිබෙන්නේ විශේෂ අවස්ථාවල ගබ්සා නීති ලිහිල් කළ යුතු බවට යෝජනාවක් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා පරාජනන සංගමය රජයට යොමු කිරීමත් සමගය.

ලිංගික අතවරයකට ලක්ව ගැබ් ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් මවගේ කැමැත්ත මත කළලය ගබ්සා කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවට වූ යෝජනාව ඔවුහු රජයට ඉදිරිපත් කළහ.

ඒ සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු අනුමැතිය ලබා දිය යුතු බව සංගමයේ සභාපති වෛද්‍ය කපිල ජයරත්න කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේය.

රජය ද එම යෝජනාවට යහපත් ප්‍රතිචාර පලකළ බව ශ්‍රී ලංකා පරාජනන සංගමය සඳහන් කළේය.

කතෝලික සභාව

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ගබ්සාව, නීතිය සහ ආගමික නායකයන්ගේ විරෝධය

කෙසේ වෙතත් මෙම යෝජනාව ගැන සමාජ කතිකාවක් ඇතිවනවාත් සමග ඊට මුල්ම විරෝධය එල්ල වූයේ ශ්‍රී ලංකා කතෝලික සභාවෙනි. "කවර තත්ත්වයකදී වුවද ගබ්සාව එපා" යනුවෙනුන් ඔවුන් රජයෙන් ඉල්ලීමක් කළේය.

"දරුවෙක් උපදිනවා කියල කියන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ" අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පසුගියදා තේවත්ත බැසිලිකාවේ පැවැති දේව මෙහෙයක් අමතමින් සිය සංගමයේ තීරණය පැහැදිලි කළහ.

"ඕක කලිනුත් උත්සාහ කළා කට්ටිය, ඉස්සෙල්ල හිටිය රජයත් උත්සාහ කළා ගබ්සා නීතිය ලිහිල් කරන්නට. ළඟදී ඉඳලා දැන් ඉන්න ආණ්ඩුවෙනුත් ගබ්සා නීතිය ලිහිල් කරන්න ඕනේ කියල එහෙන් මෙහෙන් හඬවල් ඇහෙනවා"

"දරුවෙක් අංගවිකල වුනා කියලා, දරුවෝ බලාපොරොත්තු වුනාට වඩා ලැබුණා කියලා ඒ දරුවන් නැතිකර දැමීම වරදක්. මහා අපරාධයක්" යනුවෙනුන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

අංගවිකල දරුවන් බිහිවීම මගින් එම දෙමාපියන් දැඩි ලෙස පීඩාවට පත්වන බවට නැගෙන හඬ ප්‍රතික්ෂේප කළ කාදිනල් රංජිත් හිමිපානන් බොහෝ පවුල්වල දෙමාපියන් එකට බැඳ තබා ගැනීමට එම "අවාසනාවන්ත වේදනාවට පත් දරුවා" සමත්වන බව පෙන්වා දුන්හ.

Image caption "ඕක කලිනුත් උත්සාහ කළා කට්ටිය, ඉස්සෙල්ල හිටිය රජයත් උත්සාහ කළා ගබ්සා නීතිය ලිහිල් කරන්නට. ළඟදී ඉඳලා දැන් ඉන්න ආණ්ඩුවෙනුත් ගබ්සා නීතිය ලිහිල් කරන්න ඕනේ කියල එහෙන් මෙහෙන් හඬවල් ඇහෙනවා"

දිනකට නීතිවිරෝධී ගබ්සා 600

සෞඛ්‍යය අමාත්‍යංශ සංඛ්‍යා ලේඛනවලට අනුව දිනකට ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල නොවන අනාරක්ෂිත ආකරයට ගබ්සා 600 ක් පමණ සිදුවේ.

මේ අනාරක්ෂිත ගබ්සා ක්‍රම හේතුවෙන් වසරකට මාතෘ මරණ 10-15 අතර සංඛ්‍යාවක් සිදුවන බවට ද තොරතුරු වාර්තා වී තිබේ.

මෙලෙස කාන්තාවන් අනාරක්ෂිත ක්‍රම සඳහා යොමුවීම නිසා කාන්තාවන් විවිධ රෝගාබාධවලට ලක්වීම මෙන්ම නැවත ගැබ් ගැනීම වැළකීමේ සිදුවීම් ද වාර්තාවී ඇති බව ගබ්සා නීතිය ලිහිල් කළ යුතු බවට ප්‍රකාශ කරන වෛද්‍ය හිරන්ති විජේමාන බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

හිරන්ති විජේමාන ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ මණ්ඩලයේ ආරම්භක සභාපතිනිය වන අතර ළමා හා කාන්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද කටයුතු කළ ප්‍රජා සෞඛ්‍යය වෛද්‍යවරියකි.

"දැන් තියෙන නීතිය 1883 නීතියක්, අපි දැන් ඉන්නේ 2017, මේක දැනට ඔබින ආකරයට සංශෝධනය විය යුතුයි"

"මේ විශේෂ අවස්ථාවල පමණක් නිසි අවසර ලබාගෙන ගබ්සා කිරීමට ඉඩ ලබදිය යුතුයි කියන එකයි අපේ ඉල්ලීම" යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.

සීමා පැනවීම

Image caption වෛද්‍ය හිරන්ති විජේමාන

වයස අවුරුදු 13,14 ක් දැරියක් තම පවුලේ කෙනෙකුගෙන් දූෂණය වූ අවස්ථා ගණනාවක් වාර්තා වී තිබෙන බව පැවසූ වෛද්‍ය හිරන්ති විජේමාන එවන් දේවල් නිසා හටග ගැනෙන ප්‍රශ්න සඳහා ගබ්සාවක් සිදුකිරීමට අවස්ථාව දිය යුතු බව පෙන්වා දුණි.

"ප්‍රජනන සෞඛ්‍ය ගැන දැනුවත් කමක් නැති නිසා මේ දැරියන් දන්නේ නැහැ ගැබ් ගන්නකම් තමන්ට වුනදේ, අනික දූෂණයකදී ළමයෙක් හම්බ වුනාම ඒක වෙන්නේ අම්මගේ කැමැත්තකින් තොරව ඒ නිසා මානසිකව හා කායිකව ඇය විඳින දුක් වේදනාව කියල නිම කරන්න බැහැ"

ගබ්සා කළ හැකි කාල පරිච්ඡේදයක් හා සීමා පනවා ඒ දේ කළ හැකි බව ඇය පෙන්වා දුණි.

"මේකට යම් කිසි කාලසීමාවක් දාන්න පුළුවන්, මාස තුනක් ඇතුළත වගේ කියලා"

දිගින් දිගටම පූජක පක්ෂයේ විරෝධයන් හමුවේ රජයන් මෙම නීතිය ලිහිල් කිරීමට මැලිකමක් දක්වන බව පැවසූ වෛද්‍ය හිරන්ති විජේමාන කෙසේ වෙතත් වත්මන් රජය ජනතාව වෙනුවෙන් සිය වගකීම ඉටුකරනු ඇතැයි විශ්වාසය පළ කළාය.

"කණගාටුයි මට මේ දේ කියන්න, තමන් කාන්තාවක් වෙන්න ඕනේ, තමන් මවක් වෙන්න ඕනේ, තමන්ට පවුලක් තිබිය යුතුයි, ඒ වගේ ළමයි ඉන්න දුප්පත් පවුල් වලට තමයි මේ කැක්කුම තේරෙන්නේ, මම පුජකවරුන් පත්කරනවා නෙවෙයි නමුත් ඒ අය වෙන ජිවිතයක් ගත කරන්නේ, පවුල් ජීවිතයක් ගත කරන්නේ නැහැ"

ශ්‍රී ලංකාවේ අසල්වැසි ඉන්දියාවේ පවා ගබ්සා නීතිය ලිහිල් තැනක තිබෙන බව පෙන්වාදෙන වෛද්‍යවරිය දකුණු ආසියාවේ ඇෆ්ගනිස්ථානය පමණක් තවමත් ශ්‍රී ලංකා මෙන් දැඩිව එය පවත්වාගෙන යන බව පෙන්වා දුණි.

රජයේ ප්‍රතිචාරය

Image caption "ඇතැම් අය ඉන්නවා මුළු ජීවිත කාලෙම ඉන්නේ ඇද උඩ මළසිරුරක් වගේ, එතකොට ඒ ගොල්ලෝ වගේම ඒ දෙමාපියනුත් පීඩාවට පත්වෙනවා"

විශේෂඥ වෛද්‍යවරුන් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව රජය සළකා බලන බවත් ඒ ගැන කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේය.

කතෝලික සභාවේ විරෝධයට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජීවිතයක් නැති වීමක් මෙමගින් සිදු නොවන බවය.

දරුවෙකු වැඩීමට පෙර කළල අවස්ථාවේ එම තීරණය ගන්නා බව පැවසූ ඔහු කළලයක් මිනිස් කළලයක් බවට පත්වන්නේ මාස 7කට පසු බව පැවසුවේය.

විකෘති මිනිසෙක් බිහි කිරීමත් එක්තරා ආකාරයට පාපකර්මයක් බව පැවසූ ඔහු එවැනි අය ගැන කළල අවස්ථාවේ හඳුනා ගැනීමක් කළ හැකිනම් තීන්දුවක් ගැනීමට යෝජනාවී ඇති බව කියා සිටියේය.

"ඇතැම් අය ඉන්නවා මුළු ජීවිත කාලෙම ඉන්නේ ඇද උඩ මළසිරුරක් වගේ, එතකොට ඒ ගොල්ලෝ වගේම ඒ දෙමාපියනුත් පීඩාවට පත්වෙනවා"

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් රජය කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ අතර සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය ඉරිදා දින වාර්තා කළේ ආගමික නායකයන්ගේ විරෝධය මත මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ ජනපති නියමයෙන් තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

මේ සම්බන්ධයෙන් ආගමික නායකයන් සමග පැවැත්වූ සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වීම මෙයට හේතුවී තිබෙන බව එම වාර්තාවේ සඳහන් විය.

ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග සිකුරාදා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මෙම යෝජනාව ක්‍රියාත්මක නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ තමන්ට පැවසූ බවය.

පසුගිය වතාවන්හි මෙන්ම මෙවරත් ආගමික නායකයන්ගේ විරෝධය මත මෙම සංශෝධනය යට ගැසෙනු ඇති බවට සමාජ ක්‍රියාකාරීහු මත පළ කරති.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර