"මේ දුක දන්නේ අම්ම කෙනෙක් විතරයි"

  • 2017 සැප්තැම්බර් 21
Image caption "මට දරුවා අල්ලන්නවත් දුන්නේ නැහැ. කිරි ටික දුන්නෙත් දොවලා. ඒකත් බටයකින් පෙව්වේ"

"මාස නවයක් නොවිඳිනා දුක් විඳලා දරුවා බිහි කළා"

"දවස් එකොළහක් දරුවා ජීවත් වුනා. අන්තිමට දොස්තරලා කිව්වා මෙයාව ජීවත් කරන්න අමාරුයි, මැෂින් ගලවනවා කියලා. ඊට පස්සේ මගේ දරුවා නැති වුනා"

"මට දරුවා අල්ලන්නවත් දුන්නේ නැහැ. කිරි ටික දුන්නෙත් දොවලා. ඒකත් බටයකින් පෙව්වේ"

මාරාන්තික උපත් ආබාධයකින් පෙළෙන දරුවෙකු බිහි කළ මවක් සිය වේදනාව විස්තර කළේ එලෙසිනි.

ඇය පවසන පරිදි ගැබ් ගෙන මාස තුනක් ගත වෙත්ම සිය දරුවා මාරාන්තික උපත් ආබාධයකින් පෙළෙන බව වෛද්‍යවරුන් විසින් නිගමනය කරනු ලැබ ඇත.

"ජීවත් කරන්න බැරි කෙනෙක් තියා ගෙන විඳින දුක ඒ අම්මා විතරයි දන්නේ. වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ"

ගබ්සා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැනට පවතින නීතියට අනුව සිය ගර්භණී භාවය නිමා කිරීමට අවසර නොමැති බව වෛද්‍යවරුන් තමන්ට පැවසූ බව ඇය කියා සිටියාය.

සිය නම හෙළි කිරීමෙන් වැළකි සිටි ඇය බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රසුතිය සඳහා සීසේරියන් සැත්කමකට මුහුණ දුන් තමන් ද දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත් වූ බවය.

"මට තව දරුවෙක් ඉන්නවා. එයාට වයස හතර හමාරයි. දරුවා කුසේ ඉන්න කාලේ මට අනතුරක් වුනා නම් මගේ දරුවා බලා ගන්න කවුරුත් නැති වෙනවා" යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"මේ දුක දන්නේ අම්ම කෙනෙක් විතරයි"

උපත් ආබාධවලින් යුතු දරුවන් සහිත දෙමව්පියන් සමාජීය වශයෙන් සහ ආර්ථික වශයෙන් ද ගැටලුවලට මුහුණ දෙති.

එසේම සිය පියා හෝ පවුලේ සාමාජිකයන් අතින් දූෂණයට ලක් වීම නැතහොත් ව්‍යභිචාරයේ ගොදුරක් බවට පත් වූ බාල වයස්කාර දැරියකට මුහුණ දීමට සිදුවන ශාරීරික හා මානසික පීඩාව ගැන අමුතුවෙන් කිව යුතු නැත.

දූෂණයට ලක් වූ දස හැවිරිදි දැරියක පසුගිය අගෝස්තු මාසයේ බිළිඳෙකු බිහි කළ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා විය.

දැරියගේ දරු ගැබ ගබ්සා කිරීමට ඉල්ලා දෙමව්පියන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිය ද ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර නොලැබිණි.

ගැබ් ගැනීම පිළිබඳ වටහා ගැනීමට තරම් මුහුකුරා නොගිය දැරියට, ඇයගේ උදරය පිටතට නෙරා ඇත්තේ ඒ තුළ ගලක් ඇති බැවින් යයි පවසා තිබිණි.

එවැනි විපතට පත් දැරියන් සහ තරුණියන් පිළිබඳ ශ්‍රී ලංකාව තුළ ද ඇතැම් විට අසන්නට ලැබේ.

Image copyright Getty Images

ශ්‍රී ලංකාවේ ගබ්සාව සම්බන්ධයෙන් පවතින නීතිවලට අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය යටතේ එවැන්නක් සඳහා යොමු විය හැක්කේ කලලයෙන් මවගේ ජීවිතයට හානියක් වන විටෙකදී පමණි.

මාරාන්තික උපත් ආබාධයකින් පෙළෙන දරුවෙකු කුස දරා සිටින මවක හෝ දූෂණයට ලක් වීම හේතුවෙන් ගැබ්ගත් අයෙකුට සිය කැමැත්ත පරිදි ගර්භණී භාවය නිමා කිරීම සඳහා ගබ්සා සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් කළ යුතු බවට යෝජනාවක් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා පරාජනන සංගමය විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

වෛද්‍ය විද්‍යාවට අනුව ගර්භණී භාවයට පත්ව පළමු සති 15 - 20 අතර කාලය තුළ දරුවාට මාරාන්තික උපත් ආබාධයක් ඇත්දැයි යන්න තහවුරු කර ගත හැක.

විශේෂඥ වෛද්‍යවරුන් පවසන පරිදි එවැනි දරුවන්ගෙන් බහුතරය සජීවී ලෙස උපත නොලබයි.

සජීවී ලෙස උපත ලැබුවත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පළමු දින 07 තුළ මිය යන බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.

ඒ අනුව දරුවා සජීවී ලෙස උපත නොලබන බව සති 15 - 20 අතර කාලයක දී දැන ගත්ත ද ඒ බව දැන දැනත් මවට ඉතිරි ගර්භණී කාලය ගත කිරීමට සිදු වේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"දරුවා, මව සහ පවුල් ඒකකය දුක් විඳිනවා"

එමෙන්ම උපත් ආබාධ සහිත දරු ගැබක් හිමි ගර්භණී මවකට සේවා සැපයීම සහ උපතින් පසු දරුවා යම් කිසි කාලයක් ජීවත් වේ නම් ඒ සඳහා ද සෞඛ්‍ය සේවාව තුළ සත්කාර ලබා දිය යුතුය.

එය ආර්ථික වශයෙනුත් සාමාජිය වශයෙනුත් බරක් වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න පවසයි.

ගබ්සා කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ ආගමික මත පැවතියත් ඉහත කී ආකාරයේ තත්ත්වයන්ට මුහුණ දෙන කාන්තාවන්ගේ ශෝචනීය ඉරණම දෙස බලා අවශ්‍ය අයට සිය ගර්භණී භාවය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ඉඩ ප්‍රස්තා ලබා දිය යුතු බව ඔහු කියා සිටී.

එවැනි ඉරණමකට මුහුණ දෙන කාන්තාවන් දෙස මානුෂීය ඇසකින් බැලිය යුතු බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ගබ්සා සම්බන්ධයෙන් පවතින නීතිය ලිහිල් කළත් එය අවභාවිත නොකිරීමට ද ක්‍රියාමාර්ග ගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන පරිදි අදාළ නීති ලිහිල් කළහොත් කලලයක් ගබ්සා කරනු ලබන්නේ පහත සඳහන් කරුණු සළකා බැලීමෙන් අනතුරුවය.

  • දරුවා මාරාන්තික උපත් ආබාධයකින් පෙළෙන බව තහවුරු විය යුතුය.
  • විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් ඒ බව ස්ථීර කළ යුතුය.
  • ගර්භණී භාවය නිම කරන්නේ නම් එය කළ යුත්තේ රජයේ රෝහලක පමණි.
  • එමෙන්ම එය සිදු කළ හැක්කේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුට පමණි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වාර්තාවලට අනුව වසරකට ශ්‍රී ලංකාව තුළ බිහි වන උපත් ආබාධ සහිත දරුවන් ප්‍රමාණය 6,000 ආසන්නය.

  • ඉහත සඳහන් සංඛ්‍යාවෙන් 500 - 600 අතර දෙනෙකු පළමු වසර තුළ මිය යයි.
  • එම 500 - 600 අතර දරුවන්ගෙන් 60% පමණ පළමු දින 07 තුළ මිය යයි. (දළ වශයෙන් 200-250 අතර සංඛ්‍යාවක්)
Image copyright Getty Images

පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසන පරිදි ශ්‍රී ලංකාව තුළ වසරකට දරුවන් 1,710 කුස තුළ දීම මිය යන අතර ඊට විශාල වශයෙන් බලපා ඇත්තේ උපත් ආබාධය.

මේ අතර කවර හේතුවක් නිසා හෝ ශ්‍රී ලංකාව තුළ ගබ්සාව නීතිගත කිරීම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසයි.

"කතෝලික සභාව විශ්වාස කරන්නේ කළලය පිළිසිඳ ගත් මොහොතේදීම මිනිස් ජීවිතය ඇරැඹෙන බවත්, එය ශුද්ධවත් වන අතර කිසිවකුට ජීවිතය කෙලසීමට පිළිසිඳ ගත් මොහොතේදී පවා අයිතියක් නොමැති බවත්ය," යනුවෙන් ද කතෝලික රදගුරු සම්මේලනය පසුගියදා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ගබ්සාව සම්බන්ධයෙන් වතිකානය මෙතෙක් දැරූ දැඩි ප්‍රතිපත්තිය පසුගිය වර්ෂයේ ලිහිල් කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, දරු ගැබක් ගබ්සා කරගත් කාන්තාවකට සමාව දීමේ අයිතිය පූජකවරුන් වෙත ප්‍රදානය කළහ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්