ආරුගම්බේ කිඹුලෙක් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඩැහැගනී

Image caption මළසිරුර ගොඩබිමට ගෙන ආ අවස්ථාව

ආරුගම්බේ කළපුවක් අසල දී කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වී බ්‍රිතාන්‍ය ජාතික තරුණ මාධ්‍යවේදියෙකු මරණයට පත්වෙයි.

බ්‍රිතාන්‍යයේ සරේ (Surrey) ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 24 හැවිරිදි පෝල් මැක්ලීන් කලපු දියට නැඹුරු වී දෑත සෝදමින් සිටියදී කිම්බුලෙකු විසින් ඩැහැගෙන යනු ලැබූ බව සිද්ධිය ඇසින් දුටු අය පවසති.

ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව පෝල් මැක්ලීන් ගේ මළසිරුර සොයා ගත් බව පොලිසිය තහවුරු කළේය.

ඔහු සේවය කරමින් සිටියේ බ්‍රිතාන්‍යයේ 'ෆයිනෑන්ෂල් ටයිම්ස්' (Financial Times) පුවත්පතට ය.

Image copyright FT
Image caption පෝල් මැක්ලීන්

"පෝල් කැපී පෙනෙන තරුණ මාධ්‍යවේදියෙක්. ඔහුට 'ෆයිනෑන්ෂල් ටයිම්ස්' පුවත් පතේ ඉතා හොඳ අනාගතයක් තිබුනා. ඔහු නැති පාඩුව අපට තදින් දැනේවි." ෆයිනෑන්ෂල් ටයිම්ස්' පුවත්පතේ සංස්කාරක ලයනල් බාර්බර් පැවසීය.

ඔහු මෙම ඉරණමට ගොදුරු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගතකරමින් සිටින අතරතුර ය.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වූ පෝල් මැක්ලීන් ගේ මළසිරුර ඔහුගේ මිතුරන් විසින් හඳුනාගනු ලැබ තිබේ.

Image copyright Getty Images

මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා කිඹුල් ප්‍රහාරයට ලක්වූ අවස්ථාවේ දී එය දුටු ධීවරයන් පිරිසක් ඔහු බේරාගැනීම සඳහා උදව් ඉල්ලා කෑගසා තිබේ.

නමුත් කිඹුලා විසින් මෙම පුද්ගලයාව දිය යටට ඇදගෙන යාම නිසා රැස්වූ පිරිසට කිසිවක් කළ නොහැකි වුණු බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පවසති.

Image copyright Getty Images
Image caption සෝදිසි මෙහෙයුම

"මීට කලින් මේ ගඟේ කිඹුල් ප්‍රහාර තුනක් සිද්ධ වෙලා තියෙනවා. ඒ ධීවරයන්ට තුවාල වුනා මිසක් කිසිවෙකු මිය ගියේ නැහැ. මේ ගඟේ කිඹුල් ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගියේ පළමු වතාවට" යැයි දිය මත ලිස්සායාමේ ක්‍රීඩාව පුහුණු කරන ෆවාස් ලෆියර් පැවසීය.

පෝල් මැක්ලීන් ගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යවා ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර