කෝටි 25ක් දීල මාස 16යි; පෙට් ස්කෑනරය තාම නැහැ; "ලැජ්ජයි"

"මගේ පුතාගේ අන්තිම කාලේ හැමදාම ඇහුව, තාත්තේ මම මැරෙන්න කලින් 'පෙට්' එක ලංකාවට එයි නේද කියල. එයා ඒ හීනයත් එක්කම ඇස්දෙක පියාගත්ත."
ඡායාරූප ශීර්ෂ වැකිය,

"මගේ පුතාගේ අන්තිම කාලේ හැමදාම ඇහුව, තාත්තේ මම මැරෙන්න කලින් 'පෙට්' එක ලංකාවට එයි නේද කියල. එයා ඒ හීනයත් එක්කම ඇස්දෙක පියාගත්ත."

ජනතාව රුපියල් කෝටි 25ක් ආණ්ඩුවට ලබා දී වසර එකහමාරකට ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් පෙට් ස්කෑනරය දකින්නට නොලැබීම ගැන ලාංකිකයෙකු වශයෙන් තමා "ලැජ්ජාවට" පත්වන බව එම අරමුදල පිහිටුවීමට මුලික වූ දරුවාගේ පියා පවසයි.

පිළිකා රෝගය වැළඳී සිටි තම දරුවාගේ ඉල්ලීම පරිදි මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ලබා දීම සඳහා 'ෆයිට් කැන්සර්' සංවිධානයේ සභාපති එම් එස් එච් මොහමඩ් අරමුදලක් පිහිටවූයේ 2016 මාර්තු 4 වැනිදාය.

ජාති, කුළ, ආගම් භේදයකින් තොරව මුදල් පරිත්‍යාග කළ "ශ්‍රී ලාංකික රත්තරන් හදවත් නිසා" මාස තුනක් ඇතුළත රුපියල් කෝටි 25ක් එකතුකර ගැනීමට හැකිවූ නමුත් පෙට් ස්කෑනරයක් ගෙන්වීමට ආණ්ඩුවේ බලධාරීන්ට තවමත් නොහැකිවී ඇතැයි ඔහු පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර කියා සිටියේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා පෙට් යන්ත්‍රය ගෙන්වීමට සිදුවී ඇති හෙයින් ප්‍රමාදයක් සිදුවී ඇති බවය.

වීඩියෝ ශීර්ෂ වැකිය,

පෙට් ස්කෑනරය කෝ?

කෙසේ නමුත් මුදල් ලබා දී මාස 14ක් ගතවීමෙන් අනතුරුවත් පෙට් යන්ත්‍රය ගෙන්වා ගැනීමට නොහැකිවීම නිසා එම ප්‍රශ්නය ජනාධිපතිවරයා හමුවට ගෙන ගිය බවත් එහිදී විශේෂ කැබිනට් අනුමැතියක් යටතේ උපකරණය ගෙන්වීමට ජනාධිපතිවරයා නියෝග කළ බවත් ෆයිට් කැන්සර් සංවිධානයේ සභාපති එම් එස් එච් මොහමඩ් පවසයි.

"තවමත් ණයවර ලිපි (LC) නැහැ"

ජනාධිපතිවරයා මැදිහත්වී මේ වන විට මාස දෙකක් ගතවී හමාර නමුත් තවමත් පෙට් ස්කෑනරය ගෙන්වීම සඳහා ණයවර ලිපි (LC) සැකසීමට පවා සෞඛ්‍ය අමාත්‍යංශය අසමත් වී ඇති බව ද ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය සමඟ කළ විශේෂ සාකච්ඡාවකදී ය.

"ඇත්තටම මට හිතා ගන්න බැහැ මේක ඇතුළේ තියෙන ප්‍රශ්නය මොකක්ද කියල. ඇත්ත වශයෙන්ම කනගාටුදායකයි. එච්චරයි මට කියන්න තියෙන්නේ. එතුමන්ලගේ උත්තරේ, මේක තමයි රජයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය කියන එක. ඇත්තෙන්ම ලැජ්ජයි. ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම ලැජ්ජා වෙනවා. මේකෙ ඇතුළාන්තය මට හිතා ගන්න බැහැ" යනුවෙන් ඔහු කියා සිටියේය.

පුතාගේ අවසන් ඉල්ලීම

"පෙට් ස්කෑනරය ලොවට බිහිවෙලා වසර 25කට වැඩියි. තවමත් පිළිකා රෝහලට එහෙම එකක් නැහැ. පෞද්ගලික රෝහලකින් ටෙස්ට් එක කරගන්න රුපියල් ලක්ෂ එකහමාරක් ගෙවන්න වෙනවා."
ඡායාරූප ශීර්ෂ වැකිය,

"පෙට් ස්කෑනරය ලොවට බිහිවෙලා වසර 25කට වැඩියි. තවමත් පිළිකා රෝහලට එහෙම එකක් නැහැ. පෞද්ගලික රෝහලකින් ටෙස්ට් එක කරගන්න රුපියල් ලක්ෂ එකහමාරක් ගෙවන්න වෙනවා."

එම් එස් එච් මොහමඩ්ගේ පුත්‍ හුමේඩ් ද පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටියේය. තම දෑස පියවෙන්නට පෙර ශ්‍රී ලංකාවේ අසරණ පිළිකා රෝගීන් වෙනුවෙන් පෙට් ස්කෑනරයක් ලබා දීමට උදව් කරන මෙන් හුමේඩ් සිය පියාගෙන් ඉල්ලීමක් කළේය.

එදා පටන් තම දරුවාගේ අවසන් ඉල්ලීම ඉටු කිරීම සඳහා මොහමඩ් සටන් කළේය.

නමුත් හුමේඩ් පසුගිය දා සදහටම දෑස පියා ගත්තේය. ඊට පෙර පෙට් ස්කෑනරය රට තුළට ගෙන්වා දීමට රටේ බලධාරීන්ට නොහැකි විය.

බලධාරීන්ගේ ප්‍රතිචාරය

ඊට හේතුව විමසීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇමතීමට බීබීසීය කීපවතාවක් ම උත්සාහ කළ නමුත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය.

පෙට් ස්කෑනරය තැබීමට ඉදිවන ගොඩනැගිල්ල තවමත් සුදානම් නැත
ඡායාරූප ශීර්ෂ වැකිය,

පෙට් ස්කෑනරය තැබීමට ඉදිවන ගොඩනැගිල්ල තවමත් සුදානම් නැත

කෙසේ නමුත්, ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් දෙමසක් ගතවී තිබියදීත් පෙට් යන්ත්‍රය සඳහා ණයවර ලිපි (LC) සැකසීමට අපොහොසත්වී ඇත්තේ මන්දැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් බීබීසීය ප්‍රශ්න කළේය.

"සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වුනාට මම කරන්නේ තාක්ෂණික කටයුතු විතරයිනේ. මුල්‍ය බලධරයා මම නෙවෙයි, ලේකම් තුමා. ඒ නිසා මං ඒ අංශවලින් අහන්න ඕන ඒ තොරතුරු." යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ගිණුමට මුදල් බැරවූ දිනය තමා හරිහැටි නොදන්නා නමුත් තමන් මෙම තනතුරට පත්වූ දා පටන් ඒ වෙනුවෙන් කාර්යක්‍ෂමව කටයුතු කළ බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

කෙසේ නමුත් ඔහු බීබීසීයට ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් අනතුරුවත් පෙට් ස්කෑනරය ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය තවමත් ණයවර ලිපි (LC) සකසා නොමැතිදැයි තමා නොදන්නා බවය.

පිටුපස ඇති හේතුව?

අවශ්‍ය පමණටත් වඩා මුදල් මාස 16ක් තිස්සේ ගිනුමක තිබියදීත් අවශ්‍ය උපකරණය අසරණ පිළිකා රෝගීන්ට මේ වන තෙක් ලබා දීමට නොහැකිවීම පිටුපස ඇති හේතුව කුමක්දැයි එම අරමුදල පිහිටවූ 'ෆයිට් කැන්සර්' සංවිධානයේ සාමාජිකයෝ ප්‍රශ්න කරති.

"පෙට් ස්කෑනරය ලොවට බිහිවෙලා වසර 25කට වැඩියි. තවමත් පිළිකා රෝහලට එහෙම එකක් නැහැ. අද ඇමරිකාවේ බිහිවෙන නවීන දුරකථනය හෙට කොළඹින් ගන්න පුළුවන්. පෞද්ගලික රෝහලක පෙට් එකක් තියෙනවා. ඒකෙන් ටෙස්ට් එකක් කරගන්න රුපියල් ලක්ෂ එකහමාරක් ගෙවන්න වෙනවා. ඒක දරන්න බැරි අසරණ රෝගීන් කොච්චර අකාලේ මැරිලා යනවද? සල්ලි එකතුකරන්න ගියේ මාස තුනයි. දැන් අවුරුදු එකහමාරක් වෙන්නත් ලඟයි. තාම මැෂිම නැහැ." යනුවෙන් එම් එස් එච් මොහමඩ් ප්‍රකාශ කළේය.

"මගේ පුතාගේ අන්තිම කාලේ හැමදාම ඇහුව, තාත්තේ මම මැරෙන්න කලින් පෙට් එක ලංකාවට එයි නේද කියල. එයා ඒ හීනයත් එක්කම ඇස්දෙක පියා ගත්ත." ඔහු තවදුරටත් පැවසීය.