රෝහින්ග්‍යා: මියන්මාර ජාතිකයන්ට ශ්‍රී ලංකාවට වීසා නැතිද?

රෝහින්ග්‍යා අනාථයෝ

ඡායාරූප මූලාශ්‍රය, Sri lanka navy

ඡායාරූප ශීර්ෂ වැකිය,

පසුගිය අප්‍රේල් 20 වෙනිදා ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වූ රෝහින්ග්‍යා සරණාගතයන්

මියන්මාර ජාතිකයන්ට වීසා බලපත්‍ර ලබා දීම අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර ඇති බවට පළ වන වාර්තා ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි.

රඛයින් ප්‍රාන්තයේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සරණාගතභාවය පතා ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බවට බිය පළ වීමත් සමග ඔවුන් වෙත සංචාරක වීසා බලපත්‍ර ලබා දීම අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.

අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය එස්.බී නාවින්න උපුටා දක්වමින් එම වාර්තාව සඳහන් කර තිබුණේ මියන්මාරයේ පවතින අර්බුදකාරී තත්ත්වය සලකා බලා ශ්‍රී ලංකා රජය එවැනි තීන්දුවකට පැමිණි බවය.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ කියා සිටියේ එම මාධ්‍ය වාර්තාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බවය.

"එහෙම තීන්දුවක් ගන්නවා නම් විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ නිශ්චිත කරුණු සාකච්ඡා කරලා ඒ අනුව ඒ ක්‍රියාමාර්ග ගන්නේ," යනුවෙන් ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

මියන්මාරය හැර පළා යන රෝහින්ග්‍යා පවුල්

සරණාගතභාවය පතා මියන්මාර රෝහින්ග්‍යා වැසියන් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව ඇඟවෙන ආකාරයේ ඡායාරූප සහ එවැනි සූදානමක් පවතින බවට ඇතැම් පුද්ගලයන් සමාජ ජාල ඔස්සේ ප්‍රචාරයක් ගෙන යන ආකාරය දැක ගත හැක.

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් ශ්‍රී ලංකාවට ඇතුළුවීම වළකාලීමට කටයුතු කරන ලෙස ඉල්ලා අන්තර්ජාල පෙත්සමක් ද දියත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ කියා සිටියේ "සමාජ ජාලවල පළ වන දේවල්වලට ප්‍රතිචාර දක්වන්න ප්‍රායෝගික වශයෙන් අපට බැහැ. ඒවායේ එක එක දේවල් කියනවා. එහෙම වගකීමක් නැති ඒවා කීවට දෙපාර්තමේන්තුවක් විදිහට, අපට වගකීමක් තියෙනවා," යනුවෙනි.

කෙසේ නමුත් ඒ ආකාරයට රෝහින්ග්‍යා වැසියන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ ප්‍රස්ථාවක් නොමැති බව අවධාරණය කළ ශ්‍රී ලංකා ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ගුවන්තොටුපල බලධාරීන් දැනුවත් කර ඇති බවය.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

මියන්මාරයේ සුළුතර ජන කොට්ඨාසයක් වන රෝහින්ග්‍යා වැසියන් නොව සිය ප්‍රජාව තර්ජනයට ලක්ව ඇති බව එරට බහුතර බෞද්ධයන්ගේ මතය වී තිබේ

මේ අතර පසුගිය අප්‍රේල් 20 වෙනිදා ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වූ රෝහින්ග්‍යා සරණාගතයන් 30 දෙනෙකු කන්කසන්තුරය මුහුදු කලාපයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටි එම සරණාගතයන් වහා ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය භාර කරන මෙන් අධිකරණය, ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පසුගිය අගෝස්තු 09 වෙනිදා නියෝග කළේය.

ශ්‍රී ලංකාව, 1950 සහ 1967 වසරවල අත්සන් තබන ලද එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ප්‍රඥප්තියේ සාමාජික රටක් නොවන බැවින් ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ සරණාගතභාවය ලබා දිය නොහැක.

ඒ අනුව දැනට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය භාරයේ පසුවන රෝහින්ග්‍යා වැසියන් කණ්ඩායම ඉදිරියේ දී වෙනත් රටකට පිටත් කර හැරීමට නියමිත බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ෂිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට පැවසීය.

මීට වසර දෙකකට ඉහතදී මේ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යාවරුන් 138 දෙනෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙනත් රටවලට පිටත් කරන ලද බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි යොමු:

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තුරු ඔවුන්ට සුරක්ෂිතව ශ්‍රී ලංකාවේ වාසය කළ හැකි බව විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පසුගියදා බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Navy

ඡායාරූප ශීර්ෂ වැකිය,

ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යා අනාථයන් පිරිස

එමෙන්ම රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව එල්ලවන ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වය වහා නැවැත්විය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන ඉල්ලීම ශ්‍රී ලංකා ආණ්ඩුව ද අනුමත කරන බව රාජ්‍ය ඇමතිවරයා එහිදී පැවසීය.

"ඒ ඉල්ලීමත් එක්ක අපි එකඟ වෙනව. හැබැයි අපි මියන්මාරය කොන් කරන්න කටයුතු කරන්නේ නෑ කියන එකත් මේ වෙලාවේ කියන්න ඕන," යනුවෙන් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක වැඩිදුරටත් සඳහන් කළේය.