රෝහින්ග්‍යා අර්බුදය: ගැටුම් අවුළුවන බොරු ඡායාරූප

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තය තුළ මෑත ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනීමත් සමග ජනතාව නොමග යවන ආකාරයේ ඡායාරූප ලොව පුරා සමාජ ජාල තුළ පළ වෙමින් පවතී.

රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ගේ ද අවධානය යොමුව තිබේ.

ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන රඛයින් ප්‍රාන්තය තුළ ගත් බව සඳහන් ඡායාරූප ඇතැම් ශ්‍රී ලාංකිකයන් විසින් සිය ෆේස්බුක් පිටු තුළ හුවමාරු (Share) කර ගන්නා ආකාරය දැක ගත හැක.

රඛයින් ප්‍රාන්තයේ බහුතරය වන බෞද්ධ ප්‍රජාව සහ එහි වෙසෙන සුළුතර මුස්ලිම් ප්‍රජාව අතර දීර්ඝ කාලයක් පුරා පවතින මුල් බැස ගත් අවිශ්වාසය සහ විරෝධය අතීතයේ ද ප්‍රචණ්ඩ ක්‍රියාවලට හේතු වී තිබේ.

පසුගියදා එහි අලුතින් හට ගත් ප්‍රචණ්ඩ ක්‍රියාවල ගොදුරු බවට පත් වූ බෞද්ධ හෝ මුස්ලිම් ජනතාව යයි සඳහන් ඡායාරූප හා වීඩියෝ දර්ශන ලොව පුරා සමාජ ජාල තුළ විශාල වශයෙන් හුවමාරු වන්නේ එවන් පසුබිමකය.

රෝහින්ග්‍යා අර්බුදය හා සම්බන්ධ සටහනක් තුර්කියේ නියෝජ්‍ය අගමැති මෙහෙමට් ශිම්ෂෙක් විසින් පසුගිය අගෝස්තු 29 වෙනිදා සිය ට්විටර් ගිණුමේ පළ කරනු ලැබීය.

Image copyright Bettmann/Getty
Image caption 1971 වසරේ බංග්ලාදේශයේ දී ගන්නා ලද මෙම ඡායාරූපය රෝහින්ග්‍යා කැරලිකරුවන් යයි හඳුන්වමින් සමාජ ජාල තුළ පළ වේ

මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව දියත් කර ඇති "වාර්ගික ශුද්ධය" අවසන් කිරීමට කටයුතු කරන මෙන් ඔහු සිය ට්විටර් පණිවුඩය හරහා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා තිබිණි.

එම ට්විටර් පණිවුඩය 1,600 වාරයක් යළි හුවමාරු (Retweet) වී තිබූ අතර තවත් 1,200 දෙනෙකු විසින් ඊට කැමැත්ත (Like) පළ කරනු ලැබ ඇති ආකාරය දැක ගත හැකි විය.

ඒ සමග ට්විටර් පණිවුඩයේ ඇතුළත් වූ ඡායාරූපවල සත්‍යතාව පිළිබඳ විවේචන එල්ල වීමට පටන් ගත් අතර දින තුනකට පසු නියෝජ්‍ය අගමැති මෙහෙමට් ශිම්ෂෙක් එම සටහන සිය ට්විටර් ගිණුමෙන් මකා දමා තිබිණි.

මොනවාද මේ ඡායාරූප?

Image caption "මෙය රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව කෙරෙන මනුෂ්‍ය සංහාරයක්. මියන්මාරයේ සිදු කෙරෙන වාර්ගික ශුද්ධය ඉදිරියේ නිහඬව නොසිටින්න. ජාත්‍යන්තර ප්‍රජාව ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතුයි" යනුවෙන් තුර්කියේ නියෝජ්‍ය අගමැති මෙහෙමට් ශිම්ෂෙක් සිය ටිවිටර් පණිවුඩයේ සඳහන් කර ඇත

දියේ පාවෙන මළසිරුරු දැක්වෙන පළමු ඡායාරූපයේ ආරම්භය සොයා ගැනීම තරමක් අපහසු වන අතර එය 2008 වසරේ හටගත් නාගීස් කුණාටුවෙන් මරණයට පත් පුද්ගලයන්ගේ ඡායාරූප යයි පවසමින් ඇතැම් මියන්මාර ජාතිකයෝ එය අභියෝගයට ලක් කළහ.

තවත් සමහරෙක් කියා සිටියේ එය මියන්මාරයේ හටගත් ගංවතුරකට හසු වූ පුද්ගලයන්ගේ මළසිරුරු බවය.

කෙසේ නමුත් එම ඡායාරූපය සෙසු වෙබ් අඩවි තුළ පසුගිය වසරේ දී පළව ඇති ආකාරය දැක ගත හැක.

ඒ අනුව එම ඡායාරූපය රඛයින් ප්‍රාන්තයේ මෑත හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා හා සම්බන්ධ නොවන බව පෙනෙන්නට තිබේ.

සබැඳි යොමු:

ගසකට තබා ගැට ගැසූ පුද්ගලයෙකුගේ මෘත දේහය ඉදිරියේ හඬා වැලපෙන කාන්තාවක දෙවෙනි ඡායාරූපයෙන් දැක්වේ.

එය 2003 වසරේ ජුනි මාසයේ දී ඉන්දුනීසියාවේ අචේ ප්‍රදේශයේ දී රොයිටර් පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙකු විසින් ගනු ලැබ ඇති බව බීබීසී වෙත දැනගන්නට ලැබිණි.

සිය මවගේ මළ සිරුර ඉදිරියේ හඬා වැලපෙන බිලිඳුන් දෙදෙනෙකු දැක්වෙන තෙවෙනි ඡායාරූපය ගෙන ඇත්තේ 1994 ජුලි මාසයේ දී රුවන්ඩාවේදීය.

සිව්වෙනි ඡායාරූපයේ ආරම්භය සොයා ගැනීම තරමක් අපහසු නමුත් නේපාලයේ මෑත හටගත් ජල ගැලීම් හමුවේ විපතට පත් වූවන්ට ආධාර පතා පළ කළ වෙබ් පිටුවක එය දැක ගත හැක.

මේ අතර මියන්මාරයේ බෞද්ධ ප්‍රජාව ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇති ආකාරය යයි පවසමින් ෆේස්බුක් සමාජ ජාලයේ වූ ඡායාරූප සහිත පළකිරීම විසිදහකට අධික වාරයක් යළි හුවමාරු වී ඇත.

Image copyright Facebook
Image caption මියන්මාරයේ බෞද්ධ ප්‍රජාව ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇති ආකාරය යයි පවසමින් ෆේස්බුක් සමාජ ජාලයේ වූ ඡායාරූප සහිත පළකිරීම විසිදහකට අධික වාරයක් යළි හුවමාරු වී ඇත

ඊට ප්‍රතිචාර දක්වා අදහස් පළ කර (Comment) ඇති පිරිස සියයකට අධිකය.

කුඩා දරුවෙකු වෙත ගිනි අවියක් එල්ල කර සිටින ආකාරය දැක්වෙන පළමු ඡායාරූපය 2017 මාර්තු මාසයේ යේමනයේ සමාජ ජාල තුළ පළ වූ ඡායාරූපයක් බව බීබීසී සිංහල සේවයට දැන ගැනීමට හැකි විය.

අදාළ ඡායාරූපය සම්බන්ධයෙන් යේමනයේ සමාජ ජාල තුළ දැඩි කෝපයක් පළ වූ බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමක දී බීබීසී අරාබි සේවය කියා සිටියේය.

එහි දැක්වෙන දෙවෙනි ඡායාරූපය 2016 වසරේ අගෝස්තු මාසයේ දී නයිජීරියානු වෙබ් අඩවි තුළ පළ වී ඇත.

එමෙන්ම එහි අඩංගු තෙවෙනි සහ හයවෙනි ඡායාරූපය සිය ප්‍රජාව ඉලක්ක බවට පත්ව ඇති බව පෙන්වීම සඳහා බෞද්ධ සහ මුස්ලිම් ප්‍රජාවන් දෙක විසින්ම සමාජ ජාල තුළ යොදා ගනු ලැබ තිබේ.

සිව්වෙනි ඡායාරූපය 2015 වසරේ ජුනි මාසයේ දී කොංගෝ වෙබ් අඩවියක් තුළ පළව ඇති ආකාරය දැක ගත හැක.

පස්වෙනි ඡායාරූපය 2015 මැයි මස බංග්ලාදේශ වෙබ් අඩවියක පළ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් කළ විමසීමක දී බීබීසී බෙංගෝලී සේවය කියා සිටියේ පියෙකු විසින් සිය දරුවන් ඝාතනය කරන ලද පුවතක් සම්බන්ධයෙන් එම ඡායාරූපය එහි පළ කර ඇති බවය.

අවසානයේ දැක්වෙන ඡායාරූපය ටිබෙටයේ බෞද්ධ හිමි නමක් සම්බන්ධයෙන් වෙබ් අඩවි තුළ පළව තිබේ.

Image copyright Facebook

මේ අතර මියන්මාරයේ පිටුවහල් කරන රෝහින්ග්‍යා මුස්ලිම් "අන්තවාදීන්" තවත් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබ ඇතැයි සඳහන් වීඩියෝ දර්ශන පෙළක් ෆේස්බුක් සමාජ ජාලයේ දැක ගත හැක.

ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා රජය විසින් පහසුම් සපයනු ලබන බවත් එහි සඳහන් වේ.

එම වීඩියෝ දර්ශන පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් විසින් යළි හුවමාරු (Share) කර ගනු ලැබ ඇත.

නාවික හමුදා නිලධාරියෙක් විසින් එය පටිගත කර සමාජ මාධ්‍ය වෙත එක් කර ඇති බවත් එහි සඳහන් විය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් ලංකානාථ දිසානායකගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී ඔහු කියා සිටියේ අවසාන වරට රෝහින්ග්‍යා සරණාගතයන් කණ්ඩායමක් නාවික හමුදා භාරයට ගනු ලැබුවේ අප්‍රේල් 30 වෙනිදා බවය.

පොදුවේ ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වන ඕනෑම ආකාරයක කණ්ඩායම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව සිය නෞකා ස්ථානගත කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

එසේ පැමිණෙන කණ්ඩායමක් සිය අත්අඩංගුවට පත් වන්නේ නම් පසුව ඔවුන් ශ්‍රී ලංකා පොලිසිය වෙත භාර දෙන බවත් නාවික හමුදාව ප්‍රකාශක කමාන්ඩර් ලංකානාථ දිසානායක වැඩිදුරටත් කියා සිටියේය.

සමාජ ජාල ඔස්සේ ව්‍යාජ පුවත් පළ වීම මේ වන විට සුලභ තත්ත්වයක් බවට පත්ව තිබේ.

වෙබ් අඩවි සහ සමාජ ජාල ඔස්සේ පළවන ව්‍යාජ පුවත් හඳුනා ගැනීම පිළිබඳ දරුවන් ඇතුළු සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා ලොව ඇතැම් රටවල් මේවන විටත් ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

Image copyright FB
Image caption ඇමරිකාවේ ජනාධිපතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු තරග කරන බවට සමාජ ජාලයේ ව්‍යාජ පුවතක් පළ විය

ව්‍යාජ පුවතක් යනු?

ව්‍යාජ පුවත් වර්ග දෙකකි

  1. සත්‍ය නොවන යමක් පිළිබඳ ජනතාව අතර විශ්වාසයක් ඇති කිරීමේ අරමුණින් හෝ වෙබ් අඩවි වෙත වැඩි අවධානයක් යොමු කරවා ගැනීම සඳහා ඇතැම් පිරිස් සිතාමතාම ව්‍යාජ පුවත් පළ කරති.
  2. ඇතැම් වාර්තාවල යම් සත්‍යයක් තිබුණ ද ඒවා සම්පූර්ණයෙන් නිවැරදි වාර්තා නොවේ. උදාහරණ: පුවතක් පළ කිරීමට ප්‍රථම මාධ්‍යවේදීන් හෝ බ්ලොග් ලේඛකයන් විසින් ඊට සම්බන්ධ කරුණු පිළිබඳ නිසි සොයා බැලීමක් සිදු නොකිරීම හෝ කරුණු උලුප්පා වාර්තා කිරීම.

ව්‍යාජ පුවතක් හඳුනා ගන්නේ කෙසේද?

ව්‍යාජ පුවතක් පළ කිරීමෙන් ගැලවී සිටීම සඳහා වැදගත්වන කරුණු කීපයකි.

  1. අදාළ පුවත වෙනත් අයකු විසින් පළ කරනු ලැබ ඇත්දැයි සොයා බැලීම
  2. අදාළ පුවත ගුවන් විදුලියේ, රූපවාහිනියේ හෝ පුවත්පතක පළකොට ඇත්දැයි සොයා බැලීම
  3. අදාළ පුවත පළ කරනු ලැබ ඇති ආයතනය හෝ ෆේස්බුක් පිටුව පිළිබඳ මීට පෙර අසා තිබේද?
  4. අදාළ පුවත පළ කරන ලද වෙබ් අඩවියේ විශ්වසනීයත්වය
  5. ඡායාරූප හෝ වීඩියෝ දර්ශනවල ස්වභාවය (ඇතැම් විට සංස්කරණය කරන ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇතුළත් ව්‍යාජ පුවත් පළ වේ)
  6. අදාළ පුවත විශ්වාස දනවන සුළු දැයි යන්න සිතාබැලීම

ඉහත කී කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි නම් එවැනි පුවතක් පළ කිරීමෙන් වැළකී ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලිය හැක.

තවත් සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර