'Fake News' ගැන අරවින්දගෙන් පොලිසියට පැමිණිල්ලක්

  • 2017 සැප්තැම්බර් 21
ව්‍යාජ පුවත්
Image caption 'ව්‍යාජ පුවතක්'

ෆේස්බුක් හෝ කිසිදු සමාජ මාධ්‍ය ජාලයක තමන්ගේ නමින් ගිණුමක් නැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු උප නායක අරවින්ද ද සිල්වා අවධාරණය කරයි.

ඔහු ඒ බව කියා සිටියේ තමන්ගේ නමින් ව්‍යාජ ෆේස්බුක් අඩවි කිහිපයක් පවත්වාගෙන යමින් ව්‍යාජ ප්‍රචාර පතුරවන බව පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

පුවත්පත්වලට හෝ විද්‍යුත් මාධ්‍යවලට ඇතැම්විට සම්මුඛ සාකච්ඡා ලබා දෙන නමුත් කිසිදු අවස්ථාවක තමන් සමාජ මාධ්‍ය ජාලවලට හෝ වෙබ් අඩවිවලට අදහස් නොදක්වන බව ද ඔහු අවධාරණය කළේය.

පසුගිය සමයේ තමන් උපුටා දක්වමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ වෙබ් අඩවිවල පළ වන බොහෝ පුවත් පළ වන නමුත් ඒ කිසිවක් තමන්ගේ ප්‍රකාශ නොවන බවත් අරවින්ද ද සිල්වා සඳහන් කළේය.

විශේෂයෙන්ම තමන්ට බලය තිබුණේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කරන්නේ කුමන ක්‍රීඩකයන් ද වැනි ප්‍රකාශයක් තමන් කිසි දිනෙක නොකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රහාරාත්මක පිතිකරුවා අවධාරණය කළේය.

උප සභාපති පදවිය

සිය පැමිණිල්ල ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ඉදිරිපත් කරන මෙන් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය ඔහුට දැනුම් දී තිබේ.

ඔහුගේ නමින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුම් සියල්ල ඉවත් කිරීමට කටයුතු කරන බව එම සංසදය ඒ අවස්ථාවේ සඳහන් කළ බවත් ඔහු බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

ජයන්ත ධර්මදාස ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති පදවියට ඔහු පත්කිරීමට සභාපති තිලංග සුමතිපාල තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.

එහෙත් තමන් තවමත් එවැනි තීරණයකට එළඹී නොමැති බව සඳහන් කළ අරවින්ද ද සිල්වා, කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් උපකාර කිරීමට ඕනෑම මොහොතක තමන් සූදානම් බව ද පැවසීය.

තිලංග සුමතිපාල සභාපතිවරයා යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු පසුගිය මැයි මාසයේ එම පදවියෙන් ඉල්ලා අස්විය.

Image copyright Getty Images

'Fake News' හෙවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාජ පුවත් ප්‍රකාශයට පත්වීම ලොව පුරා ප්‍රබල අවධානයට ලක්ව තිබෙන කරුණකි.

මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාව මුහුණ දී සිටින ඉරණම හමුවේ බෙදා හැරෙන පුවත් සහ ඡායාරූප පිළිබඳව විශේෂ ගවේෂණයක් කළ බීබීසී සිංහල සේවය, ඒ ඇතැම් ඡායාරූප සහ රෝහින්ග්‍යා ගැටලුව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව හෙළිදරවු කළේය.

ව්‍යාජ පුවත් යනු කවරක් ද යන්න පිළිබඳව සහ ව්‍යාජ පුවත් හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ද බීබීසී සිංහල සේවය මීට ඉහතදී කිහිප වරක්ම වාර්තා කළේය.

ව්‍යාජ පුවත් වර්ග දෙකකි

  1. සත්‍ය නොවන යමක් පිළිබඳ ජනතාව අතර විශ්වාසයක් ඇති කිරීමේ අරමුණින් හෝ වෙබ් අඩවි වෙත වැඩි අවධානයක් යොමු කරවා ගැනීම සඳහා ඇතැම් පිරිස් සිතාමතාම ව්‍යාජ පුවත් පළ කරති.
  2. ඇතැම් වාර්තාවල යම් සත්‍යයක් තිබුණ ද ඒවා සම්පූර්ණයෙන් නිවැරදි වාර්තා නොවේ. උදාහරණ: පුවතක් පළ කිරීමට ප්‍රථම මාධ්‍යවේදීන් හෝ බ්ලොග් ලේඛකයන් විසින් ඊට සම්බන්ධ කරුණු පිළිබඳ නිසි සොයා බැලීමක් සිදු නොකිරීම හෝ කරුණු උලුප්පා වාර්තා කිරීම.

ව්‍යාජ පුවතක් හඳුනා ගන්නේ කෙසේද?

  1. ව්‍යාජ පුවතක් පළ කිරීමෙන් ගැලවී සිටීම සඳහා වැදගත්වන කරුණු කීපයකි.
  2. අදාළ පුවත වෙනත් අයකු විසින් පළ කරනු ලැබ ඇත්දැයි සොයා බැලීම
  3. අදාළ පුවත ගුවන් විදුලියේ, රූපවාහිනියේ හෝ පුවත්පතක පළකොට ඇත්දැයි සොයා බැලීම
  4. අදාළ පුවත පළ කරනු ලැබ ඇති ආයතනය හෝ ෆේස්බුක් පිටුව පිළිබඳ මීට පෙර අසා තිබේද?
  5. අදාළ පුවත පළ කරන ලද වෙබ් අඩවියේ විශ්වසනීයත්වය
  6. ඡායාරූප හෝ වීඩියෝ දර්ශනවල ස්වභාවය (ඇතැම් විට සංස්කරණය කරන ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇතුළත් ව්‍යාජ පුවත් පළ වේ)
  7. අදාළ පුවත විශ්වාස දනවන සුළු දැයි යන්න සිතාබැලීම

ඉහත කී කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි නම් එවැනි පුවතක් පළ කිරීමෙන් වැළකී ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලිය හැක.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්