චීනයෙන් උතුරු කොරියාවට තහංචි

  • 2017 සැප්තැම්බර් 23
Image copyright AFP
Image caption ප්යොංයැං අගනුවර පෙට්‍රල් මිල ඉහළ යමින් පවතී

උතුරු කොරියාව මත පනවා ඇති සම්බාධක තර කරමින් එරටින් ඇඟලුම් මිල දී ගැනීම අත්හිටුවීමට චීනය පියවර ගෙන තිබේ.

එමෙන්ම උතුරු කොරියාව වෙත කෙරෙන ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය ක්‍රමයෙන් අත්හිටුවීමට කටයුතු කරන බවත් චීනය සෙනසුරාදා (සැප් 23) නිවේදනය කළේය.

උතුරු කොරියාවේ වඩාත් වැදගත්ම වෙළඳ පාර්ශවකරු චීනයයි.

ඇඟලුම් ආනයනය තහනම් කිරීම ප්යොංයැං පාලනයට තදින් දැනෙනු ඇති අතර උතුරු කොරියාව විසින් මූලික වශයෙන් සිය ඛනිජ තෙල් නිෂ්පාදන අවශ්‍යතාව සපුරා ගනු ලබන්නේ චීනයේ ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන මගිනි.

චීනය විසින් එවැනි දැඩි පියවරක් ගනු ලැබ ඇත්තේ උතුරු කොරියාව මේ මස අලුතින් තවත් මිසයිලයක් අත්හදාබැලීමත් සමගය.

උතුරු කොරියාව පසුගිය 15 වෙනිදා ජපානයට ඉහළින් තවත් මිසයිලයක් විදීමත් සමග ඊට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්යොංයැං පාලනයට එරෙහිව තවත් තහංචි මාලාවක් පනවනු ලැබීය.

Image copyright Getty Images
Image caption ඇඟලුම් මත පනවන ලද තහනම මගින් උතුරු කොරියාවට ඩොලර් කෝටි 70 ට අධික ආදායමක් අහිමි වනු ඇති බව ඇස්තමේන්තු කර ඇත

චීනයේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන සම්බන්ධයෙන් පැනවීමට නියමිත තහනම ලබන ඔක්තෝබර් 01 වෙනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බවය.

ද්‍රව මට්ටමේ පවතින ස්වාභාවික ගෑස් අපනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවත් එම නිවේදනයේ දැක්වේ.

එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අයත් සීමාව යටතේ පමණක් උතුරු කොරියාවට තවදුරටත් ඛනිජ තෙල් අපනයනය කෙරෙනු ඇත.

දැනට චීනයේ සිට උතුරු කොරියාව වෙත අපනයනය කෙරෙන ඛනිජ තෙල් ප්‍රමාණය සහ අලුතින් පනවන ලද තහංචි අනුව සීමා කර ඇති ප්‍රමාණය කොපමණ දැයි යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත.

නමුත් උතුරු කොරියාවේ දෙවන විශාලතම අපනයන නිෂ්පාදනය වන ඇඟලුම් මත පනවන ලද තහනම මගින් එරටට ඩොලර් කෝටි 70 ට අධික ආදායමක් අහිමි වනු ඇති බව ඇස්තමේන්තු කර ඇත.

Image copyright EPA
Image caption එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතා කළ ප්‍රකාශයත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්ග් අන් අතර වාග් සන්ගරමයක් හටගෙන තිබේ

චීනය වෙත ඛනිජ තෙල් අපනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය කළ යෝජනාවට චීනය සහ රුසියාව මුලින් විරෝධය පළ කළ අතර ඊට සීමා පැනවීම සඳහා පසුව එකඟ විය.

සබැඳි යොමු:

ආනයනය කරනු ලබන බොර තෙල් පිරිපහදු කර උතුරු කොරියාව විසින් සිය ඇතැම් ඛනිජ තෙල් නිෂ්පාදන අවශ්‍යතා සපුරා ගනු ලබයි.

අලුතින් පනවන ලද තහංචි අතරට බොර තෙල් ඇතුළත් නොවේ.

පසුගිය මාස දෙක තුළ ප්යොංයැං අගනුවර පෙට්‍රල් මිල 20% ඉහළ ගොස් ඇති බව ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කර තිබිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර